Wednesday, July 1, 2020

පිනුම් කටුස්සා (Otocryptis weigmanni)

පිනුම් කටුස්සා මුහුදු මට්ටමේ සිට මීටර 1300 පමණ උසක් දක්වා තෙත් කලාපයේ වනාන්තර ප්‍රදේශ වල පමණක් භෞමිකව හමුවන මෙරටට ආවේණික උරගයෙකි. වනාන්තර දිය පාරවල් අසබඩ කොළ රොඩු මත බහුලව හමුවේ. එහෙත් එවැනි පරිසර වල ගල් මත මෙන්ම ඇතැම් අවස්ථා වලදී ගස් කඳන් මතත් දැකිය හැක.  කලබල වූ විට ඇතැම්විට පිටුපස කකුල් දෙකින් දුවන බැවින් Kangaroo Lizard යන ඉංග්‍රිසි නම මෙම කටුස්සා හැඳින්වීමට භාවිතා වේ. පිනුම් කටුස්සා සඳහා මෙරට ජන ව්‍යවහාරයේ යෙදෙන කලා කටුස්සා, යක් කටුස්සා, පිනුම් කටුස්සා සහ තැලි කටුස්සා වැනි නම් කිහිපයක්ම P.E.P. දැරණියගල මහතා ඉදිරිපත් කර ඇත. කුහුඹුවන්, සලබයන්, තණකොලපෙත්තන් සහ කුරුමිණියන් වැනි කෘමි සතුන් පිනුම් කටුස්සා ප්‍රධාන වශයෙන් ගොදුරු කර ගනී. එසේම මකුළුවන්, කුඩා හූනන් සහ ඇතැම් අවස්ථා වලදී ලපටි දලු රිකිලි වැනි ශාකමය ආහාරද පිනුම් කටුස්සා ආහාරයට ගන්නා බව නිරීක්ෂණය කර ඇත. පිරිමි සතුන් ඔවුන්ටම සීමා වූ ගොදුරු භූමි වෙන් කර ගන්නා අතර වෙනත් පිරිමි සතෙකු සිය ප්‍රදේශය ආක්‍රමණය කල විටදි බෙල්ල ප්‍රදේශයේ තිබෙන තැල්ල විහිදාගෙන ආක්‍රමණිකයා සමග සටන් කරණු දැකිය හැක.
English Post >>