Sunday, May 1, 2022

කහ මැටිකොකා ( Ixobrychus sinensis)


තෙත් කලාපයේ වගුරු බිම් වල සහ ඇලමාර්ග, වැව් සහ ගංගා ඉවුරු වල ඇති පන්ගාල් ආදියෙහි හමුවන සුලභ දේශීය පක්ෂියෙකි. තවද පහත රට වියලි කලාපයේ ඇතැම් ප්‍රදේශ වල මෙන්ම ඇතැම් විට කඳුකරයේද හමුවේ. එසේම සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පැමිණෙන සංචාරක කහ මැටි කොකුන්ද සිටී. ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන්, ගෙම්බන්, කකුළුවන් සහ ඇතැම් ජලජ කෘමීන් ගොදුරු කරගන්නා කහ මැටි කොකා තනි පක්ෂීන් හෝ ජෝඩු වශයෙන් ඉතා සෙමින් ජලයට ආසන්න ගස් කොළන් අතරින් ගමන් කරමින් ආහාර සොයා යන අතර එක තැන බොහෝ වේලා  නොසෙල්වී සිටිමින් එක්වර ගොදුරු ඩැහැ ගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. හවස් කාලයේ සහ රාත්‍රියේ වඩාත් ක්‍රියාශීලී මුත් දිවා කාලයේද ඇතැම් විට ගොදුරු සොයා හැසිරේ. මැයි සිට අගෝස්තු අතර කාලයේ ඝන පන් ගාලක පහලින් මධ්‍යට වන්නට හෝ උස් තෘණ පඳුරක පන් ගස් වලින් නොගැඹුරු වේදිකාවක ආකාරයෙන් යුත් කූඩුවක් තනා එහි බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.

 English Post >>