Pages
Sunday, October 31, 2021
පලා කොකා/කඩොල් කොකා (Butorides striata)
Thursday, October 28, 2021
කවුඩා (Dicrurus caerulescens)
පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා සුලභව හමුවන දේශීය පක්ෂියෙකි කවුඩා. ගස් කොළන් බහුල ප්‍රදේශ වල, තේ සහ රබර් වතු වල මෙන්ම ගෙවතු වලත් වාසය කරන කවුඩන් ඝන වනාන්තර ඇතුලත හමු නොවේ. තනිව හෝ ජෝඩු වශයෙන් ජීවත් වන කවුඩන් විදුලි සහ දුරකතන රැහැන් හෝ වැටවල් මත හෝ සිට ඉගිලෙමින් පියාඹන කෘමීන් ගොදුරු කරගනිමින් බොහෝවිට නැවතත් එම ස්ථානයටම එන ආකාරය නිරීක්ෂණය කල හැක. කුරුළුගොයන් සහ පොල්කිච්චන් වැනි වෙනත් පක්ෂීන්ගේ මෙන්ම විශේෂයෙන් පූසන්ගේ හඩ අනුකරණය කරන පුරුද්දක් කවුඩන්ට ඇත. පෙබරවාරි සිට මාර්තු දක්වා කාලයේ ගසක තිරස් අතට වූ කරුවක් මත කුඩා නොගැඹුරු කූඩුවක් සාදා බිත්තර 2 ක් හෝ 3 ක් පමණ දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Wednesday, October 27, 2021
කිරළා/යටිමල් කිරළා (Vanellus indicus)
පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශ වල වැව් අසල, කුඹුරු වල සහ බොහෝවිට ජලය සහිත ස්ථානයකට එතරම් නුදුරු වෙනත් විවෘත භූමි වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකු වන කිරළා හෙවත් රත් යටිමල් කිරළා වියලි කලාපයේදී වඩාත් සුලභව දැක ගත හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් එහෙ මෙහෙ ඇවිදිමින් පොළව මත හමුවන පලගැටියන්, කුරුමිණියන්, වේයන්, කුහුඹින් වැනි කෘමීන් අල්ලන් කන කිරළන් එවන් ස්ථාන වල නිබදව දැක ගත හැක. කිරළන් අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලයේ භූමියේ ගල් සහ වෙනත් එවන් සුන්බුන් අතර පොළව සූරා තනාගත් නොගැඹුරු වලක බිත්තර හතරක් පමණ දමා අභිජනනයේ යෙදේ. එවන් ස්ථාන වලට කිසිවෙකු හෝ ලගාවන විට ශබ්ද නගමින් ඔහු වටා ඉගිලෙමින් අනතුර පහව යන තෙක් හැසීරීම කිරළුන්ගේ විශේෂ ලක්ෂණයකි.
Sunday, October 24, 2021
කිතලා (Porphyrio porphyrio)
පහත රට වියලි සහ තෙත් කලාපයේ වැව්, මඩ වගුරු සහ පන් ගාල් ආශ්‍රීතව වෙසෙන සුලභ දේශීය පක්ෂියෙකි කිතලා. බොහෝවිට 10 කට නොවැඩි කුඩා රංචු ලෙසින් දිය මත පාවෙන ශාක මත ඇවිදින හෝ පන් ගාල් අස්සෙන් ගමන් කරන කිතලුන් එවන් පරිසර වල නිරීක්ෂණය කල හැක. කෙසේ නමුත් ඊට වඩා විශාල රංචු ලෙසද ඇතැම් අවස්ථා වලදී හමුවේ. කිතලුන්ට දිය මත හොඳින් පීනා යෑමේ හැකියාව ඇති මුත් ඔවුන් එසේ කිරීමට සිදුවන අවස්ථාවකදී විනා නිතර පිහිනීම සිදු නොකරයි. මොවුන්ට වේගයෙන් ඇතැම්විට තරමක විශාල දුරක් වුවද ඉගිලී යෑමේ හැකියාව ඇත. ප්‍රධාන වශයෙන් ශාක කොටස් සහ කෘමීන් අහාරයට ගන්නා අතර වසරේ මුල් කාලයේ, බහුලවම මාර්තු සිට මැයි දක්වා කාලයේ පන් ගාල් අතර කොළ රොඩු ගොඩක් මත කූඩුවක් සාදා අභිජනනයේ යෙදේ. විශාල ශබ්ද නගමින්, කලහකාරී ලෙස හැසිරෙන කිතලුන් එකිනෙකා හඹා යන ආකාරය විශේෂයෙන් එම කාලයේදී දැකිය හැක.
English Post >>
Friday, October 22, 2021
ඔටුමානා/තිත් හොට පැස්තුඩුවා (Pelecanus philippensis)
පහත රට වියලි කලාපයේ වැව්, වගුරු බිම් සහ කලපු වල සුලභ පක්ෂියෙකි ඔටුමානා හෙවත් තිත් හොට පැස්තුඩුවා. තවද දෙහිවල සත්ව උද්‍යානයෙන් මුදාහල පක්ෂීන්ගෙන් ඇරඹුන තෙත් කලාපය තුලද අභිජනනය කරන සමූහයන් කිහිපයක්ම කොළඹ අවට තෙත් බිම් වාසස්ථාන කරගනිමින් වෙසේ. පක්ෂීන් දෙතුන් දෙනාගෙන් සැදුන රංචු වල සිට ඇතැම් විට සියය ඉක්මවන සාමාජිකයන් සහිත රංචු දක්වා ඔටුමානාවන් රංචු ලෙසින් දිවිගෙවයි. ඔවුන් බොහෝවිට රංචු ලෙසින්ම ජලයේ මසුන් අල්ලමින් වැඩි කාලයක් ගත කරයි. මාර්තු සිට මැයි දක්වා කාලයේ ජලයෙන් යට වූ හෝ වගුරක පිහිටි ගස් මත කෝටු කැබැලි සහ පරඬැල් භාවිතා කරමින් සාදන විශාල කූඩුවක බිත්තර දමා අභිජනනයේ යෙදෙයි . බොහෝවිට එක් ගසක පක්ෂීන් කිහිප දෙනෙකුගේම කූඩු දැක ගත හැකි අතර, වෙනත් කොකුන්, දියකාවන් වැනි පක්ෂීන්ගේ කූඩුද එම ගස් වල මෙන්ම අවට අනෙකුත් ගස් වලද එම කාලයේදි සුලභව දැක ගත හැක (මෙලෙස විවිධ පක්ෂීන් එක්ව එකම පෙදෙසක කූඩු තැනීමෙන් බිත්තර සහ කුඩා පැටවුන් ආහාර කර ගන්න විලෝපිකයන්ට එම සියළු පක්ෂීන්ගේ අවධානයෙන් මිදී සිය ගොදුරු කරා ලගා වීමට අපහසු වේ.) ඔටුමානාට වේගයෙන් මෙන්ම ඉතාමත්ම ඉහල ආකාශයේ පියාසර කිරීමේ හැකියාව ඇත. බොහෝවිට රංචු ලෙස පියාසර කිරීමේදී ඉංග්‍රීසි V අකුරේ හැඩයට පියාසර කරන ඔටුමානා රංචු නිරීක්ෂණය කල හැක. ඔටුමානා ගෝලීය වශයෙන් තර්ජිත කාණ්ඩයට අයත් පක්ෂියෙකු වුවත් මෙරට තුල සුලභව හමුවීම විශේෂත්වයකි.
English Post >>
Tuesday, October 19, 2021
සිලුටු දෑතුඩුවා (Plegadis falcinellus)
සිලුටු දෑතුඩුවන් මෙරට තුල අභිජනය කල බවට වූ පැරණි වාර්තා ඇතිමුත් වර්තමානය වන විට තරමක් දුර්ලභ මුත් නිත්‍ය සංචාරක පක්ෂියෙක් ලෙස සැලකේ. සිලුටු දෑතුඩුවා මෙරට තුල සිටින කාලයේදී පහත රට ඇතැම් වගුරු බිම්, කුඹුරු, වැව් සහ කලපු ආශ්‍රිතව කුඩා රංචු වශයෙන් නොගැඹුරු ජලයේ පණුවන්, ජලජ කෘමින්, ක්‍රස්ටේෂියාවන්, ගෙම්බන් සහ වෙනත් එවැනි කුඩා සතුන් ගොදුරු කරගනිමින් ගැවසෙනු දැකිය හැක. ඔවුන් විශේෂයෙන් දිය කූඩැල්ලන් අහාරයට ගැනීමට රුචියක් දක්වන බව පැවසේ. රාත්‍රී කාලයේ වෙනත් ජලජ පක්ෂීන් සමග ජලාශ්‍රිත ගස් මත ලැගුම් ගන්නා බව නිරීක්ෂණය කර ඇත.
Monday, October 18, 2021
ගෙල සුදු මැදි-පිළිහුඩුවා/පිළිහුඩුවා (Halcyon smyrnensis)
දිවයින පුරා සියළුම දේශගුණික කලාප වල ඉතාමත් සුලභ පක්ෂියෙකු මුත් ඉහල කඳුකරයේ තරමක් දුර්ලභව හමුවන ගෙල සුදු මැදි-පිළිහුඩුවා (පොදු ව්‍යවහාරයේ පිළිහුඩුවා ලෙසින් හැඳින්වේ) බොහෝවිට අනෙකුත් පිළිහුඩු විශේෂ මෙන් නොව ජලජ පරිසර වලින් ඈත්ව විවෘත බිම් අසල දුරකථන සහ විදුලි රැහැන් වැනි උස් තැන් වල දැක ගත හැක. මේ හේතුව නිසාම අනෙකුත් පිළිහුඩු විශේෂ මෙන් මත්ස්‍යයන් ගෙල සුදු මැදි-පිළිහුඩුවාගේ ප්‍රදාන ආහාරය නොවන බව පැවසේ. ඒ වෙනුවට පලගැටියන්, ගෙම්බන්, කුරුමිණියන්, පණුවන් සහ කටුස්සන්, හිකනලුන් වැනි කුඩා උරගයන් මෙම පිළිහුඩුවාගේ ප්‍රදාන ගොදුරු ලෙස සැලකේ. ගං හෝ වැව් ඉවුරක හෝ මාර්ගයක් අසල කණ්ඩියක ඇතුලට හාරා කෙලවර විශාල කුහරයක් සහිතව සාදන බෙනයක ගෙල සුදු මැදි-පිළිහුඩුවා බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා වසරේ දෙසැම්බර් සිට ජූනි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. බොහෝවිට මාර්තු සිට අප්‍රියෙල් කාලයේ අභිජනනයේ යෙදෙන පිළිහුඩුවන් බහුලව දැකිය හැක. කුඩා පැටවුන්ගේ ආහාර සඳහා ගෙල සුදු මැදි-පිළිහුඩුවා පැණි කුරුල්ලන්, බට්ටිච්චන්, වී කුරුල්ලන් වැනි කුඩා පක්ෂීන් මරා ගෙන එන ආකාරය නිරීක්ෂණය කර ඇත.
English Post >>
Sunday, October 17, 2021
පොදු සිලිත්තා (Actitis hypoleucos)
English Post >>