Showing posts with label සිංහල ලිපි. Show all posts
Showing posts with label සිංහල ලිපි. Show all posts

Wednesday, November 13, 2024

ලා කොළ කෑරලා/ඉරිගෙල කෑරලා (Picus xanthopygaeus)

දකුණු සහ නැගෙනහිර කඳුකර වියලි කලාපයේ සහ නැගෙනහිර දිශාවෙන් කඳුකරයේ පාමුල දක්වාත් ආශ්‍රිත පහත රට වියලි කලාපයේත් විවෘත වනලැහැබවල්, ගෙවතු සහ තේ වතු වැනි වගා බිම් වලද හමුවන තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකි. තනි තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු වශයෙන් දිවිගෙවන මෙම කෑරලා අප්‍රියෙල් සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක කඳක් හෝ අත්තක් තුලට හාරන ලද බෙනයක බිත්තර 3ක් දමා අභිජනනය සිදු කරයි.

English Post >>
 




Saturday, November 9, 2024

අවන්පෙඳ කැස්වටුවා/පොදු කැස්වටුවා (Gallinago gallinago)

තරමක් දුර්ලභ ලෙසින් වුවත් අවුරුදු පතා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙකි. මෙම කැස්වටුවා මෙරට තුල සිටින කාලයේදී පහත රට වියලි සහ තෙත් කලාපයේ වගුරු, වැව් අසබඩ පිහිටි තණකොල සහිත පරිසර පද්ධති සහ තෙත් කුඹුරු වැනි ස්ථාන වල වාසය කරයි. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වෙමින් මඩ සහිත ස්ථාන වල සිටින පණුවන්, කෘමින්ගේ පිළවුන් වැනි සතුන් ගොදුරු කර ගනී. බොහෝවිට තනි පක්ෂීන් වශයෙන් හැසිරෙන අතර මඩ තුල ගැඹුරට ඔවුන්ගේ දිගු, එමෙන්ම සංවේදී හොට දමා එවන්  සතුන් සොයාගනී. මෙම කැස්වටුවා යුරෝපයේ ආසියාවේ මෙන්ම උතුරු ඇමෙරිකාවේද අභිජනනය කරයි.

 English Post >>

Wednesday, August 21, 2024

රෑ කොකා/රෑ කණ කොකා (Nycticorax nycticorax)


පහත රට තෙත් සහ වියලි කලාපයේත්, කඳුකරයේ පහල ප්‍රදේශ වලත් වගුරු බිම්, කඩොලාන, ගංගා, වැව් සහ කලපු වල සුලභ දේශීය පක්ෂියෙකි. රාත්‍රි කාලයේදී ක්‍රියාකාරි වන අතර දහවල් කාලයේදී සමූහ වශයෙන් ගසක් මත ලැග කාලය ගත කරයි. ප්‍රධාන වශයෙන් මාළුන්, ගෙම්බන් සහ ඇතැම් ජලජ කෘමීන් ගොදුරු කරගන්නා රෑ කොකාට වර්ෂාව සමග වෙනස් වන අභිජනන සමයක් ඇති මුත් බොහෝදුරට දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ කෝටු කැබැලි ගොඩ ගසා, ගසක් මත තුරු වියනින් සෙවන සහිත ස්ථානයක තනන කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි.

 English Post >>

Tuesday, August 20, 2024

හාවා (Lepus nigricollis)

 
දිවයින පුරා ලඳු කැලෑ සහ තෘණ භූමි වල සුලභ ලෙස හමුවන සත්වයෙකි හාවා. බොහෝ ප්‍රදේශ වල නිශාචර හැසිරීම් දක්වන අතර දහවල් කාලයේදී යටිරෝපනයේ සෙවන සහිත එමෙන්ම  මනා ලෙස ආවරණය වූ ස්ථානයක සැඟවී කල් ගෙවයි. එහෙත් ආරක්ෂා සහිත ජාතික උද්‍යාන වැනි පරිසර පද්ධති වල දිවා කාලයේ, බොහෝ විට උදෑසන හෝරාවන් වලදී ක්‍රියාකාරි වේ. ශාකභක්ෂක සත්වයෙකු වන හාවා තණකොළ, දළු රිකිලි ආදිය ආහාරයට ගනී. නිශ්චිත අභිජනන සමයක් නොමැති අතර අවුරුද්දේ ඕනෑම කාලයක පැටවුන් එකෙකු හෝ දෙදෙනෙකු බිහිකරයි.  

English Post >>

Sunday, August 18, 2024

පොරෝ කුරුල්ලා/පොරෝළුවා (Upupa epops)


පහත රට වියලි කලාපයේ සිට කඳුකරයේ වියලි කලාපීය ප්‍රදේශ දක්වා විවෘත එලිමහන් ප්‍රදේශ සහ ලඳු කැලෑ වල එතරම් සුලභ නොවන ලෙස ස්ථානීය වශයෙන් හමුවන දේශීය පක්ෂියෙකි. කඳුකරයේ වඩාත් දුර්ලභ අතර කලාතුරකින් තෙත් කලාපයටද සංක්‍රමණය වේ. ඝන වනාන්තරවල හමු නොවන අතර සංක්‍රමණ පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී බොහෝවිට මෙරටට සංක්‍රමණය වන සංක්‍රමණ පොරෝ කුරුල්ලන්ද සිටින බවට විශ්වාස කෙරේ. පොරෝ කුරුල්ලා තනි තනි පක්ෂීන් ලෙසින්, ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් සැරිසරමින් පොළොව මත වැටී ඇති ශාක පත්‍ර අවුස්සමින් සැගවී සිටින කෘමීන් සහ එවන් කුඩා සතුන් ප්‍රධාන වශයෙන් ගොදුරු කරගනී.  ගසක හෝ ගං ඉවුරක හෑරූ බෙනයක හෝ ඇතැම්විට ගොඩනැගිල්ලක වූ එවන් සිදුරක නොවැම්බර් සිට අප්‍රියෙල් දක්වා කාලයේ හෝ නැවතත් ජූනි සිට ජූලි දක්වා කාලයේ හතරේ සිට හත දක්වා වූ බිත්තර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි. ගැහැණු පක්ෂියා බිත්තර රැකීමේ නිරත වන මුළු කාලය තුලම කෑදැත්තන් මෙන් පොරෝ කුරුල්ලාගේ පිරිමි පක්ෂියාද කිරිල්ලයට අවශ්‍ය ආහාර සපයා දේ. 
 
English Post >>

Saturday, August 17, 2024

පෙඳසුදු අයෝරාවා (Aegithina nigrolutea)

 පහත රට වියලි කලාපයේ, දිවයිනේ නැගෙනහිර සිට දකුණු දෙසට විහිදුණු කොටසක වනාන්තර, විවෘත ගස් කොළන් සහිත ප්‍රදේශ සහ අතරින් පතර ගස් සහිත ලඳු කැලෑ වල ස්ථානීය වශයෙන් එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. ජෝඩු වශයෙන් ජීවත් වන අතර, කෙඳි වර්ග සහ කෝටු කැබැලි උපයෝගි කරගෙන පඳුරක පහල මට්ටමේ අතු කිහිපයක් එක්කර හෝ කරුවක තනන විවෘත කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දමා වසරේ මුල් මාස කිහිපයේ අභිජනනය සිදුකරයි.

English Post >>

Thursday, August 15, 2024

නෙත් කහ තණ දෙමළිච්චා/ඇස් කහ දෙමළිච්චා (Chrysomma sinense)

 පහතරට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා එතරම් සුලභ නොවන ලෙස ස්ථානීය වශයෙන් තෘණ භූමි සහ ලඳු කැලෑ වල හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට වියලි කලාපයේ තරමක් සුලභ නමුත් තෙත් කලාපයේ සහ කඳුකරයේ දුර්ලභය. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් බොහෝවිට ඝනව වැවුණු පඬුරු අතරින් ගමන් කරමින් ප්‍රධාන වශයෙන් කෘමීන් ගොදුරු කරගනිමින් දිවි ගෙවයි. නමුත් සැන්දෑ කාලයේදී විවෘත ස්ථානයක පිහිටි ගසක අතු මත ලගිමින් සිය ඝෝෂාකාරී නාදය නගමින් කෑගසන පක්ෂීන් නිරීක්ෂණය කල හැක. පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ දිගු තෘණ පත්‍ර මකුළු දැල් වලින් එක්කර මාන වර්ගයේ තෘණ ගස් කිහිපයක කඳවල් වලට සවි කර තනන කෝප්පයක හැඩැති ගැඹුරු කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Tuesday, August 13, 2024

තට්ට මාන කොකා/හීන් බහුරු මානාවා (Leptoptilos javanicus)

 දුර්ලභ දේශීය පක්ෂියෙකු වන තට්ට මාන කොකා බොහෝවිට පහත රට වියලි කලාපයේ වනාන්තර තුල සහ වනාන්තර ආශ්‍රිතව පිහිටි වගුරු බිම්, පොකුණු, වැව් විල්ලු වැනි පරිසර පද්ධති වල දැකිය හැකි මෙරට තුල වාර්තා වන පක්ෂීන් අතරින් විශාලතම පක්ෂියාය. එහෙත් මෙරට සිටින තවත් දුර්ලභම පක්ෂියෙකු වල අලි මානාව තරම් උස නොවේ. බොහෝවිට තනි පක්ෂීන් ලෙසින් ජලය සහිත පරිසරයක වියලි ඉවුරේ ඇවිදිමින් ගෙම්බන්, කකුළුවන්, මත්ස්‍යයන්, කුඩා ක්ෂීරපායින්, සර්පයන් මෙන්ම වෙනත්  කුඩා උරගයන්ද ගොදුරු කරගනී. එහෙත් ඇතැම් අවස්ථා වලදි කුඩා රංචු ලෙසින්ද වියලීගෙන යන ජලජ පරිසර වල හමුවේ. තට්ට මාන කොකා වෙනත් කොකුන් විශේෂ මෙන් නොව පියඹා යෑමේදී සිය ගෙල පසුපසට හකුලාගෙන උරහිස් දෙපස තබා ගනී. මෙම පක්ෂියාගේ කැදලි මෙරට තුලින් හමුවී ඇත්තේ කලාතුරකින් වුවද අභිජනන සමයේදී සහ ඉන්පසුව පැටවුන් දැකිය හැක. තට්ට මාන කොකා වසරේ මාර්තු සිට අප්‍රියෙල් දක්වා සහ නැවතත්  සැප්තැම්බර් මාසයේ විශාල ගසක මුදුනේ කෝටු කෑලි විශාල ප්‍රමාණයක් ගොඩ ගසා තනන කූඩුවක බිත්තර තුනක් දමා අභිජනනය කරයි.   

English Post >>

Thursday, July 11, 2024

වල් පොල්කිච්චා (Copsychus malabaricus)

පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල සුලභ දේශීය පක්ෂියෙකි වල් පොල්කිච්චා. පහත රට වියලි කලාපීය වනාන්තර වල වඩාත් සුලභ වන අතර ස්ථානිය වශයෙන් එතරම් සුලභ නොවන ලෙස ඇතැම් තෙත් කලාපීය වනාන්තර වලද හමුවේ. ප්‍රධාන වශයෙන් කෘමින් ආහාරයට ගන්නා මෙම පක්ෂියා බොහෝවිට වනාන්තරයේ හමුවන කුඩා ගෙඩි වර්ගද ආහාරයට ගන්නා බවට අනුමාණ කෙරේ. ජෝඩු වශයෙන් දිවිගෙවන වල් පොල්කිච්චා මාර්තු සිට මැයි දක්වා කාලයේ ගසක බෙනයක කෙඳි වර්ග එකතු කර කොට්ටයක් ලෙසින් තනන කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි.
 
English Post >>

Wednesday, July 10, 2024

හීන් ගිණිකුරුල්ලා/පුංචි මිණිවිත්තා (Pericrocotus cinnamomeus)

පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා සියළුම දේශගුණික කලාප වල පාහේ හොඳින් ගහකොළ සහිත ගෙවතු, විවෘත වන බිම් සහ අතරින් පතර උස් ගස් සහිත ලඳු කැලෑ ආදියේ එතරම් සුලභ නොවන ලෙසින් හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් මෙම පක්ෂියා වැසි වනාන්තර අභ්‍යන්තරයේ හමු නොවේ. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් සැරිසරන හීන් ගිණිකුරුල්ලා දලඹුවන්, තණකොළපෙත්තන්, සලබයන් වැනි සතුන් ආහාරයට ගනිමින් තුරු හිස් මතින් එකා පසු පස එකා ලෙසින් තෝරාගත් ප්‍රදේශයක එක් ගසක සිට තවත් ගසකට පියාසර කරමින් කල් ගෙවයි. ප්‍රධාන වශයෙන් පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ කුඩා කෝප්පයක හැඩැති කූඩුවක් ලයිකන, ශාක පත්‍ර වල මැද නාරටි, මකුළු දැල් ආදිය උපයෝගි කරගනිමින් වනාන්තරයේ ඇති ගසක හෝ රබර් ගසක හෝ තේ වත්තක සෙවනට වවා ඇති ගසක ලයිකන වලින් යුත් කුඩා අත්තක හෝ කරුවක සාදා බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි. 

English Post  >>


Tuesday, July 9, 2024

ශ්‍රී ලංකා කොට්ටෝරුවා/හීන් කොට්ටෝරුවා (Psilopogon rubricapillus)


පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර, ගහකොළ සහිත විවෘත බිම්, ගෙවතු සහ වගා බිම් වල සුලභ ආවේනික පක්ෂියෙකි. වියලි කලාපයේද ස්ථානීය වශයෙන් හමුවේ. වෙනත් කොට්ටෝරුවන් මෙන්ම ශ්‍රී ලංකා කොට්ටෝරුවාද ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගන්නා අතර, අභිජනන සමය නොවන කාලයේදී බෝ, නුග වැනි පළතුරු හට ගන්නා ගස් වල විසිරුණු රංචු වශයෙන් හමුවේ. එසේ නොවන විට තනි තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු ලෙසින් දැකගත හැක. ජනවාරි සිට ජූලි දක්වා කාලයේ ගසක ආනතාකාර අත්තක පහල පෘෂ්ඨයේ හාරන ලද බෙනයක් තුල බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි. 

English Post >>

Monday, July 8, 2024

ගිරාමලිත්තා (Loriculus beryllinus)

පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. තවද පහත රට වියලි කලාපයට අයත් කඳුකරයේ පහල ප්‍රදේශ වලද හමුවේ. තනි තනි පක්ෂීන් වශයෙන් හෝ ජෝඩු වශයෙන් හමුවන ගිරාමලිත්තා තනිකරම ගස් මත වසන පක්ෂියෙකි. පළතුරු, මල් පැණි, ඇට වර්ග ආදිය ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා මෙම පක්ෂියා පොල් සහ කිතුල් ගස් වල රා මදින්නන් විසින් මුට්ටි වල එකතු කරන තෙලිජ්ජ බීමටද රුචිකත්වයක් දක්වයි. ආහාර ගැනීමේදි කඩිසර ලෙස විවිධ කෝණ වලින් අතු අතර එල්ලී සිටීමේ පුරුද්දක් සහිත ගිරාමලිත්තා රාත්‍රී කාලයේදී සිහින් අතු කැබැල්ලක හිස පහලට සිටින සේ එල්ලී නිදා ගනී. මාර්තු සිට ජූනි දක්වා සහ ඇතැම්විට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගස් බෙනයක ගැහැණු පක්ෂියා විසින් කොළ වල අග්ගිසි සිහිනියට ඉරා ගත් කැබැලි එකතු කර තනන කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය සිදුකරයි. 

English Post >>

Tuesday, June 4, 2024

රජ උලු-කැස්වටුවා/මල් කැස්වටුවා (Rostratula benghalensis)

 පහත රට ප්‍රදේශ වල සහ කඳුකරයේ පහල ප්‍රදේශයේ වගුරු, කුඹුරු වල හුදෙකලා කොටස් සහ කුඩා පොකුණු ආදියේ දිවි ගෙවන දුර්ලභ, එසේම ඉතාමත් කුලෑටි දේශීය පක්ෂියෙකි. තනි තනි පක්ෂීන් ලෙසින්, ජෝඩු වශයෙන් හෝ කළාතුරකින් කුඩා රංචු වශයෙන් දැකිය හැකි මෙම කැස්වටුවා උදෑසන මෙන්ම සවස් කාලයේ බොහෝ රෑබෝ වන තුරුද ක්‍රියාශීලි වේ. මල් කැස්වටුවා ජලජ කෘමීන්, කුඩා බෙල්ලන්, පණුවන් වැනි සතුන් මෙන්ම වී වැනි ධාන්‍ය වර්ගද ආහාරයට ගන්නා අතර, නොවැම්බර් සිට මැයි දක්වා කාලයේ තණකොළ පත්‍ර, පන් වැනිදේ ගොඩ ගසා බොහෝවිට වගුරක කෙලවර හුදකලා වූ තණකොළ පඳුරක් අසල හෝ කුඹුරක නියරක් අසල පොළොව මත තනන කූඩුවක බිත්තර හතරක් දමා අභිජනනය කරයි. අභිජනන ක්‍රියාවලියේදී ගැහැණු පක්ෂියා වඩාත් ක්‍රියාශීලී වන අතර පිරිමි පක්ෂීන් දිනාගැනීම උදෙසා ගැහැණු පක්ෂීන් එකිනෙකා සමග සටන් කිරීමද සිදුවේ. එසේම වෙනත් පක්ෂීන්ගේ මෙන් නොව බිත්තර රැකීම සහ පැටවුන් රැකබලා ගැනීමේ කාර්යය මල් කැස්වටුවන්ගේ පිරිමි සතුන් සිදු කරන අතර, ගැහැණු පක්ෂීන් බහු පුරුෂ සේවනයේද යෙදෙමින් පිරිමි පක්ෂීන් කිහිප දෙනෙකු සමග සංවාසයේ යෙදීමද සිදුකරන බව නිරීක්ෂණය කර ඇත. 

English Post >>

Thursday, April 18, 2024

කුස කහ ලඳු-දෙමළිච්චා/ගෙල සුදු දෙමළිච්චා (Dumetia hyperythra)


 පහත රට තැනිතලා බිම් වල සිට කඳුකරයේ මීටර් 1500 ක් පමණ වන උස් මට්ටම් දක්වා හෝ ඇතැම් ප්‍රදේශ වල ඊටත් වඩා උස් කඳුකර ප්‍රදේශ දක්වාත් එතරම් සුලභ නොවන ලෙසින් ස්ථානීයව වනාන්තර, ලඳු කැලෑ, තෘණභූමි සහ එවන් පරිසර පද්ධති වලට ආසන්න හොඳින් ගහ කොළ සහිත ගෙවතු වලත්, තේ වතු වලත් දැකිය හැකි දේශීය පක්ෂියෙකි. වියලි කලාපයේ වඩාත් සුලභ වන අතර තෙත් කලාපීය වනාන්තර තුල හමු නොවේ. කුඩා රංචු වශයෙන් තෝරාගත් විශාල ප්‍රදේශයක් පුරා තෘණ භූමි, ලඳු කැලෑ හෝ වනාන්තර යටිවියනේ පිහිටි පඳුරු අතර නිතර එකිනෙකා සමග නාද කරමින් සබදතාවය පවත්වා ගනිමින්  සැඟවී ගමන් කරමින් ප්‍රධාන වශයෙන් කෘමීන් සහ කුඩා ගෙඩි වර්ග ආහාරයට ගනිමින් දිවි ගෙවයි. මාර්තු සිට මැයි දක්වා සහ බොහෝවිට නැවත අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා වියලි තණකොල, කෝටු කැබලි සහ කෙඳි ආදිය උපයෝගි කරගනිමින් පැත්තකින් ඇතුළු වීමට හැකි වන ලෙසට බෝලයක හැඩයට තනන කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය සිදුකරයි. කූඩුව බොහෝවිට පඳුරක හෝ මානා ගාලක පොළොවට ආසන්නව ඉදිකරයි

English Post >>

Thursday, April 11, 2024

දඬු ලේනා (Ratufa macroura)

 උප විශේෂ තුනක් ලෙසින් සුදුසු පරිසර තත්වයන් ඇති ප්‍රදේශ වල දිවයින පුරාම පාහේ ව්‍යාප්තියක් දක්වන ක්ෂීරපායී සත්වයෙකි දඬු ලේනා. වනාන්තර හෝ වනාන්තර මායිම් වල පිහිටි ගස් කොළන් සහිත ගම්මාන වල දැකිය හැකි දඬු ලේනා ගස් මත සැරිසරන දිවා කාලයේ ක්‍රියාකාරී වන සත්වයෙකි. ගස් වල කොළ, පොතු, දළු මෙන්ම පළතුරු සහ වෙනත් කුඩා ගෙඩි වර්ගද ආහාරයට ගන්නා මෙම සත්වයා එයට අමතරව ඇතැම් විට කෘමීන්, පිළවුන් මෙන්ම පක්ෂි බිත්තරද ගොදුරු කරගනී. තනි සත්වයෙකු හෝ ජෝඩුවක් විසින් වෙන් කරගන්නා වපසරියක උස ගස් වල අතු පතර කුඩා අතු සහ කෝටු කැබලි උපයෝගි කරගනිමින් කූඩු තුනක් හතරක් පමණ තනන දඬු ලේනා එම කූඩු පැටවුන් බිහිකිරීම උදෙසා මෙන්ම රාත්‍රියේදී නිදාගැනිම උදෙසාද භාවිතා කරයි. 

English Post >>

Tuesday, April 9, 2024

අරංගයා (Myophonus blighi)

මෙරටට ආවේනික දුර්ලභ එසේම ඉතාම කුලෑටි පක්ෂියෙකි. කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා ඝන වනාන්තර සහ වගා බිම් වල යටි රෝපනයේ  වේගයෙන් ගලායන දිය කඳුරු සහ පොකුණු ආශ්‍රිතව ජෝඩු වශයෙන් දිවිගෙවන මෙම පක්ෂියා උදෑසන සහ සන්ධ්‍යා කාලයේ ක්‍රියාකාරී වේ. අරංගයා ප්‍රධාන වශයෙන් කෘමීන් ගොදුරු කරගන්නා අතර එයට අමතරව ගෙම්බන්, හූනන් සහ වෙනත් එවැනි කුඩා සතුන් ආහාරයට ගනී. ජනවාරි සිට මැයි දක්වා කාලයේ ගැඹුරු කෝප්පයක හැඩැති කූඩුවක් කොළ පැහැති පාසි, කෝටු කැබැලි, වියලි කොළ ආදිය සිහින් මුල් සහ කෙඳි ආදියෙන් එකතු කර තනා එහි බිත්තර එකක් හෝ දෙකක් දමා අභිජනනය සිදුකරයි. කූඩුව බොහෝවිට වේගයෙන් ගලා යන ජල පහරක හෝ දිය ඇල්ලක පිහිටි ශිලා ගැට්ටක හෝ කුහරයක් තුල තනන මුත් ඇතැම් අවස්ථා වලදී ගසක දෙබලක් තුල හෝ වනාන්තරය තුල හෝ වනාන්තර මායිමක පිහිටි කණුවක තනන අවස්ථාද හමුවේ. 

English Post >>

Sunday, April 7, 2024

අලු හැලපෙන්දා (Motacilla cinerera)

ප්‍රධාන වශයෙන් කඳුකරයේ සුලභව හමුවන එහෙත් වෙනත් කලාප වලද දුලභ නොවන සංචාරක පක්ෂියෙකි. දිය කඳුරු සහ ගංගා දිගේ මෙන්ම කුඹුරු, තේ වතු, විවෘත බිම් සහ වනාන්තර වල පිහිටි එලිමහන් පෙදෙස් වලද තනිව හෝ විසිරුණු කුඩා රංචු ලෙසින් කුඩා කෘමීන් ගොදුරු කරගන්න අලු හැලපෙන්දා හවස් යාමයේදී තෝරාගත්  ජලයට ඉහලින් අතු විහිදී ගිය විශාල ගසක හෝ වගුරු බිමක වූ අකුලක සමූහ වශයෙන් රාත්‍රිය ගත කිරීම සඳහා එක් රැස් වේ. එක් එක් පක්ෂියා එහි තමන්ටම වූ ස්ථානය වෙන් කරගනී. අලු හැලපෙන්දා මධ්‍යම ආසියානු කලාපයේ අභිජනනය කරයි. 

English Post >>

Sunday, March 31, 2024

වල් ඌරා (Sus Scrofa)


වෙරලබඩ තැනිතලා බිම් වල සිට කඳුකරයේ ඉහල මට්ටම දක්වා දිවයින පුරාම පාහේ, වියලි කලාපීය ලඳු කැලෑ වල සහ තෙත් කලාපීය වනාන්තර වල සැඟවී සිටීම සඳහා ප්‍රමාණවත් තත්වයන් පවතී නම්, හමුවන ක්ෂීරපායී සත්වයෙකි වල් ඌරා. වියලී කලාපීය ජාතික උද්‍යාන වලදී නම් ඇතැම් විට සාමාජිකයින් 30 පමණ හෝ ඊටත් වඩා සිටින රංචු ලෙසින්ද, තෙත් කලාපීය වනාන්තර වලදී ඊට වඩා අඩු සතුන් සංඛ්‍යාවක් සිටින කුඩා රංචු ලෙසින් හෝ තනි තනි සතුන් ලෙසින් දිවි ගෙවන සර්වභක්ෂක සතෙකු වන වල් ඌරා  මැරිච්ච සතුන්ගේ මලකුණු ආහාරයට ගන්නා අතරම, සර්පයන්, පණුවන් වැනි සතුන්ද ගොදුරු   කරගනී. තවද භූමිය මත කූඩු තනන පක්ෂීන්ගේ බිත්තර සහ පැටවුන් මෙන්ම ගස් මතින් පතිත වූ පළතුරු සහ ගස් උදුරා සොයා ගන්නා අල වර්ගද වල් ඌරාගේ ආහාර අතර ප්‍රධාන තැනක් ගනී. රාත්‍රීයේදී ආහාර සොයා යන විට මිනිසාගේ හේන් වගාවන්, කුඹුරු, වෙනත් වගාවන් සහ ගෙවතු වලට විශාල ලෙස හානි කරන සත්වයෙකු ලෙස වල් ඌරා සැලකේ. වර්ෂයක් තුලදී අවම වශයෙන් දෙවතාවක්වත් පැටවුන් බිහි කරන වල් ඌරන් බොහෝවිට විශාල සත්වයන් අතරින් වනාන්තර හෙලි කරන ලද ප්‍රදේශ වලින් අවසානයේ වඳවී යන සත්වයා බව W.W.A. පිලිෆ්ස් සඳහන් කරයි. වල් ඌරු රංචුවක ප්‍රධාන වශයෙන් ඊරියන් සහ ඔවුන්ගේ විවිධ වයස් වල පැටවුන් සිටින අතර වැඩිහිටි පිරිමි සතුන් තනිව හෝ ඔවුන්ගේම කුඩා රංචු වශයෙන් සැරිසරමින් අභිජනන සමයේදී පමණක් ගැහැණු සතුන් සිටින රංචු සමග එක්වේ. අලුයම කාලයේ සහ සවස් යාමයේ ක්‍රියාකාරී වන මෙම සත්වයා උණුසුම් දහවල් කාලයේ සෙවන ඇති තැනක වැතිරී ගිමන් හරී. එසේම රාත්‍රී කාලයේද ආහාර සොයමින් සැරිසරයි. මිනිසා හැරුණ විට පිඹුරන්, කිඹුලන් සහ කොටි වල් ඌරාගේ සතුරන් ලෙස සැලකිය හැකි වන අතර, කොටියා බොහෝවිට අවස්ථාවක් ලදවිට ඌරු පැටවුන් ගොදුරු කර ගනී. එවන් අවස්ථාවලදී ඇතැම් විට වැඩිහිටි ඌරන් සහ කොටියා අතර ඇතිවන දරුණු සටනින් කොටින් මියගිය අවස්ථා පවා වාර්තා වී ඇත. 
 
English Post >>

Saturday, March 30, 2024

ගළුගුඩු කොණ්ඩයා/බැම සුදු කොණ්ඩයා (Pycnonotus luteolus)


පහත රට වියලි සහ තෙත් කලාපයේ මෙන්ම කඳුකරයේ මීටර 1000 ක පමණ උස් මට්ටම දක්වා සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් පහත රට වියලි කලාපයේ වඩාත් සුලභය. ගෙවතු, ද්වීතීයක වනාන්තර, වගා බිම් සහ ලඳු කැලෑ වල දිවි ගෙවන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් කුඩා ගෙඩි වර්ග සහ කෘමීන් ආහාරයට ගනී. පෙබරවාරි සිට මාර්තු දක්වා කාලයේ කුඩා කෝටු කැබැලි සහ මුල් ආදීය උපයෝගි කරගනිමින් පඳුරක් මත අඩි 2 ක් හෝ 3 ක් පමණ උසින් තනන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.   

English Post >>

Thursday, March 28, 2024

පුංචි සිලිවටුවා/පුංචි හින්නා (Calidris minuta)


වසරේ සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී ප්‍රධාන වශයෙන් වියලි කලාපීය වෙරලාසන්න කලපු, මඩ වගුරු, ලුණු ලේවායන් සහ වැව් අද්දර සුලභව දැකිය හැකි පක්ෂියෙකි. තෙත් කලාපයේ එවන් පරිසර වලද කලාතුරකින් හමුවේ. කුඩා සහ විශාල රංචු වශයෙන් දිවි ගෙවන මෙම පක්ෂියා ජලාශ අද්දර ක්‍රියාකාරී ලෙසින් එහෙ මෙහෙ දුවමින් පහතට යොමු කර ගත් තුඩෙන් මඩේ සිටින කුඩා ජලජ සත්වයන් ගොදුරු කරගනී. 
 
English Post >>