Monday, March 29, 2021

ඇටිකුකුලා (Centropus sinensis)

 දිවයින පුරා ගෙවතු, වගා බිම්, ලඳු කැලෑ, තෙත් කලාපයේ වනාන්තර මායිම් සහ වියලි කලාපීය වනාන්තර තුලද හමුවන සුලභ දේශිය පක්ෂියෙකි. බොහෝවිට භෞමිකව ගොදුරු සොයා යන ඇටිකුකුලා ගොළුබෙල්ලන්, කටුස්සන්, ගෙම්බන්, කෘමීන්, සර්පයින් මෙන්ම කුරුළු බිත්තර සහ කුඩා කුරුළු  පැටවුන්ද ආහාරයට ගනී. තනිව හෝ ජෝඩු වශයෙන් හමුවන ඇටි කුකුලන්ගේ ගැහැණු/පිරිමි ජෝඩු ජීවිත කාලය පුරාම එක්ව සිටින බව විශ්වාස කෙරේ. ඔවුන් ගොදුරු සොයා යෑමේදී නිබදවම එකිනෙකා හා ශබ්ද නිකුත් කරගනිමින් සන්නිවේදනය පවත්වා ගනී. පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වාත් නැවත ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වාත් තාල ගසක අතු පතර හෝ කටු සහිත පඳුරු අතර සැඟවුණ ගෝලාකාර කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>


Sunday, March 28, 2021

ඉන්දු දියකාවා (Phalacrocorax fuscicollis)

පහත රට වියලි කලාපයේ ඉතාමත්ම සුලභ දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ මෙන්ම කඳුකරයේ පහල කොටසේද තරමක් දුර්ලභ ලෙසින් හමුවේ. කුඩා රංචු වශයෙන් පුංචි දියකාවන් වැනි වෙනත් ජලාශ්‍රීත පක්ෂීන්ද සමගින් වගුරු බිම්, වැව්, කලපු, ගංගා සහ විශාල ඇල මාර්ග වල ජලයේ කිමිදී මත්ස්‍යයන් ගොදුරු කරගනිමින් හැසිරේ.වසරේ ඔක්තෝබර් සිට අප්‍රියෙල් දක්වා මාස වල ජලයේ වැඩී ඇති ගස් වල අතු මත කෝටු කෑලි තබා සැදූ කූඩුවක බිත්තර දමා අභිජනනයේ යෙදේ. බොහෝවිට සමූහ වශයෙන් කොකුන් සහ වෙනත් දියකා විශේෂද එම ගස් වලම එකම කාලයකදී එක්ව කූඩු තනන ආකාරය දැක ගත හැක.

English Post >>

Saturday, March 27, 2021

සිවුරු හොරා (Terpsiphone paradisi)

 බෞද්ධ භික්ෂූන්ගේ සිවුරේ පඬු පැහැයට සමාන පැහැයක් සහිත පිහාටු සහිත හෙයින් පොදු ව්‍යවහාරයේ සිවුරු හොරා ලෙසින් හැඳින්වෙන මෙම පක්ෂියා උප විශේෂ දෙකක් ලෙසින් මෙරටදී හමුවේ. ඉන් එක උප විශේෂයක් (T.P.ceylonensis) දේශිය පක්ෂියෙකු වන අතර අනික් උප විශේෂය (T.P.paradisi) මෙරටට වසරේ එක් කාලයකදී පමණක් සංක්‍රමණය වන සංක්‍රමණික පක්ෂියෙකි. දේශිය උප විශේෂය ඔවුන්ගේ අභිජනන සමයේදී පහත රට වියලි කලාපයේ වාසය කරන අතර, එම උප විශේෂය මෙන්ම සංක්‍රමණික ඉන්දියානු උප වීශේෂයද වසරේ පක්ෂි සංක්‍රමණය සිදු වන මාස තුලදී දිවයින පුරාම 1700m  ක පමණ උසක් දක්වා වනාන්තර සහ ගෙවතු වල දැකිය හැක.  කෙසේ වෙතත් මෙරටට සංක්‍රමණය වන උප විශේෂයේ වැඩුණු පිරිමි සතුන් සුදු පැහැති පිහාටු දරන අතර පොදු ව්‍යවහාරයේ එම පක්ෂීන් සුදු රෙදි හොරුන් ලෙස හැඳින්වේ. එසේම එම පිරිමි සතුන් හට දිගු පෙඳයක්ද ඇත. මෙරටදී අභිජනනය කරන දේශීය උප විශේෂයේ වැඩුණු පිරිමි සතුන්ටද දිගු පෙඳයක ඇති මුත් ඔවුන්ගේ ශරීර වර්ණය පඬු පැහැතිය. දේශිය උප විශේෂයේ මෙන්ම සංක්‍රමණික ඉන්දියානු උප විශේෂයේද ගැහැණු සතුන් සහ නොවැඩුණු ගැහැණු මෙන්ම පිරිමි පක්ෂීන්ද ඉහත රූපයේ මෙන් කෙටි පෙඳයක් සහිත පඬුපැහැති පක්ෂීන් වේ. මෙම පක්ෂීන්ගේ ප්‍රධාන අහාරය පියාඹන කුඩා කෘමීන් වන අතර කෘමීන් ගුවනේදී හඹා ගොසින් අල්ලා ගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක.

English Post >>

Thursday, March 25, 2021

කහ හැලපෙන්දා (Motacilla flava thunbergi)

 මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙකු වන කහ හැලපෙන්දන් උප විශේෂ කිහිපයක්ම මෙරටින් වාර්තා වී ඇති මුත් ඒ අතරින් වඩාත්ම සුලභ වන්නේ දිවයින පුරාම තෘණභූමි සහ වගුරු බිම් වල හමුවන M.f. thunbergi උප වීශේෂයයි. ඊට අමතරව (M.f. bema, M.f lutea, M.f. melanogrisea සහ M.f. simillima යන උප විශේෂද දුර්ලභ හෝ ඉතාමත් දුර්ලභ ලෙස පහත රට වියලි කලාපයේ විවිධ ස්ථාන වලින් වරින් වර වාර්තා වී ඇත. මෙරට සිටින කාලය තුලදි කහ හැලපෙන්දන් විසිරුණු රංචු ලෙසින් තෘණභූමි, වියලී ගිය වැව් පිටි,කුඹුරු සහ වෙනත් එවැනි පරිසර පද්ධති වල ආහාර සොයමින් හැසිරෙන අතර රාත්‍රී කාලයේදී සමූහ වශයෙන් වගුරු වල වැවෙන පඳුරු හෝ පන් ගාල් අතර ලැග සිටී. 

English Post >>


Wednesday, March 24, 2021

කහ කුරුල්ලා (Oriolus xanthornus)

 පහතරට සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා වනාන්තර, ගෙවතු සහ වෙනත් එවැනි ගස් කොලන් සහිත ප්‍රදේශ වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකි කහ කුරුල්ලා. ජෝඩු වශයෙන් හෝ කුඩා පවුල් රංචු වශයෙන් ගසින් ගසට ඉගිලෙමින් පළතුරු සහ කෘමීන් ආහාරයට ගන්නා කහ කුරුල්ලන් ඔක්තෝබර් සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ.

English Post >>

Tuesday, March 23, 2021

කන කොකා (Ardeola grayii)

 දිවයින පුරාම පාහේ බහුලව කුඹුරු වල දැකිය හැකි සුලභ පක්ෂියෙකි. එසේම වැව්, වගුරු බිම් සහ කලපු වලද හමුවේ. දිවා කාලයේ ගොදුරු සොයන අතරතුරේ තනි තනි පක්ෂීන් ලෙස හැසිරුනද, සවස් යාමය එලඹීමත් සමග රංචු වශයෙන් රාත්‍රියේ සමූහ වශයෙන් ලැගුම් ගන්නා ගස් මුදුන් කරා පියාඹන කන කොකුන් නිරීක්ෂණය කල හැක. මත්ස්‍යයන්ට අමතරව ගෙම්බන් සහ ජලජ කෘමීන් ආදියද ආහාරයට ගන්න කන කොකා දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන අතර, වෙනත් කොකුන්, දියකාවන් ආදීන් සමග එකම ගස් පෙලක කූඩු තනන ආකාරය දැකිය හැක. ගසක මුදුනේ අතු අතර කෝටු කෑලි එකතු කර තනන වේදිකාවක් වැනි කූඩුවක බිත්තර 3ක් හෝ 4 ක් දමා අභිජනනය සිදු කරයි.

English Post >>

Monday, March 22, 2021

ලතුවැකියා/ඇඹල මානකොකා (Mycteria leucocephala)

 පහතරට වියලි කලාපයේ වැව්, වගුරු බිම් සහ කලපු ආශ්‍රිතව හමුවන දේශීය පක්ෂියෙකි ලතුවැකියා. දෙහිවල සත්වෝද්‍යානයෙන් පලාගිය පක්ෂීන්ගෙන් පැවතෙන කොළඹ සහ ඒ අවට තෙත්බිම් වලට සීමා වූ පක්ෂි ගහණයක්ද එයට අමතරව තෙත් කලාපයේ හමුවේ. සාමාන්‍යයෙන් කුඩා රංචු වශයෙන් දිවිගෙවන මුත් ලතුවැකියන් ඇතැම් විට තනි පක්ෂීන් ලෙස මෙන්ම විශාල රංචු වශයෙන්ද හමුවේ. මාළුන්, ගෙම්බන්, කකුළුවන්, ජලජ සර්පයන් මෙන්ම වෙනත් කුඩා කටුස්සන් වැනි උරගයන්ද ගොදුරු කරගන්නා ලතුවැකියන් කෝටු කැබලි එකතු කර සාපෙක්ෂව කුඩා කූඩුවක්, බොහෝවිට ජලයේ වැඩෙන ගසක මුදුනේ තනා වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදේ. ලතුවැකියන් වෙනත් ජලජ පක්ෂීන්ද සමග එකතුව සමූහ වශයෙන් එකම ගසක කූඩු තනන ආකාරය නිරීක්ෂණය කල හැක. මෙම පක්ෂීන්ගේ අසාමාන්‍ය හැසිරීමක් G.M. හෙන්රි වාර්තා කර ඇත. එනම් ඔවුන් විවේකයෙන් සිටින විට සිය වසුරු ඔවුන්ගේම පාද පුරා විසුරුවා පාද සුදු පැහැ කරගැනීමක් කරන බවයි.

English Post >>

Sunday, March 21, 2021

කලපු කිරලා/කළුපිය ඉපල්පාවා (Himantopus Himantopus)


 පහත රට වියලි කලාපයේ කලපු, වගුරු බිම්, වෙරල ආසන්නයේ පිහිටි මඩ වගුරු සහ රට ඇතුලට වන්නට පිහිටි වැව් වලද දැකිය හැකි දේශීය පක්ෂියෙකි කලපු කිරලා. තවද සංක්‍රමණික පක්ෂීන් ලෙසින් මෙරටට පැමිණෙන කලපු කිරලන්ද පහත රට තෙත් සහ වියලි කලාප දෙකේම සුදුසු ජලජ පරිසර පද්ධතීන් වල එම කාලයේදී හමුවේ. කලපු කිරලන්ගේ ආහාරය ප්‍රධාන වශයෙන් බෙල්ලන් වැනි මොලුස්කාවන්, පණුවන්, ජලජ කෘමීන් මෙන්ම වගුරු වල වැවෙන ශාක කොටස් වලින්ද සමන්විත වේ. නිතරම කුඩා විසිරුණු රංචු වශයෙන් ආහාර සොයමින් සැරිසරන මුත් අනතුරක් දැනුන අවස්ථාවකදී එකට එක්වන ආකාරය නිරීක්ෂණය කල හැක. ජලාශ්‍රීත වෙනත් පක්ෂීන් මෙන් නොව රිටක් වැනි දිගු පාද සහිත කලපු කිරලන්ට තරමක් ගැඹුරු ජලයේ වුවද ගොදුරු සොයමින් ඇවිදීමේ හැකියාව ඇත.  කලපු කිරලන් කුඩා රංචු ලෙසින් එක්ව කලපු හෝ වැවක අද්දර හෝ කුඩා දූපත් වල පොළව මතුපිට වලක් හාරා එය වටා ඇතැම්විට පරඩැල්, ජලජ ශාක කොටස් හා වියලුණු ගොම කොටස් ආදිය තබා සාදාගන්නා කූඩුවක බිත්තර දමා වසරේ ජූලි හා ජූනි මාස වලදී අභිජනනයේ යෙදේ.

English Post >>

Saturday, March 20, 2021

නිල්පෙඳ බිඟුහරයා/මහ කුරුමිණිකුරුල්ලා(Merops philippinus)

ප්‍රධාන වශයෙන් දිවයින පුරාම පාහේ ඝන කැලෑ වල හැර සෙසු ප්‍රදේශ වල දැකිය හැකි සංක්‍රමණික පක්ෂියෙකි නිල්පෙඳ බිඟුහරයා. වසරේ අගෝස්තු මාසයේ මෙරටට පැමිණෙන නිල්පෙඳ බිඟුහරයා ඊලඟ වසරේ මැයි පමණ වනතෙක් රට තුල දැකිය හැක. ප්‍රධාන වශයෙන් සංක්‍රමණික පක්ෂියෙකු වුවත් රටේ ගිණිකොණ දිග වෙරළබඩ කලාපයේ මෙරට තුල අභිජනනය කරන පක්ෂීන් සුළු ප්‍රමාණයක්ද හමුවී ඇත. මීමැස්සන්, සමනලයන්, කූරන් වැනි පියාඹන කෘමීන් වසා සිටින ගස් අතු මත සිට ඉගිලී ගුවනේදී ගොදුරු කරගන්නා නිල්පෙඳ බිඟුහරයා බොහෝවිට 10 කට නොවැඩි කුඩා රංචු වශයෙන් සැරිසරයි. නිල්පෙඳ බිඟුහරයන් පියාඹන අතරතුරේම ගංගා, වැව්, පොකුණු ආදියෙහි ගිලෙමින් ජලස්නානය කරන ආකාරයද බොහෝවිට නිරීක්ෂණය කල හැක. 

English Post >>


Thursday, March 4, 2021

කළුකුරුල්ලා/කළු බිම්සැරියා (Turdus merula)


 මීටර් 1000 ට වඩා උස කඳුකරයේ පමණක් හමුවන දේශිය පක්ෂියෙකි. වනාන්තර යටිරෝපනයේ, මනාව තුරු ගොමු සහිත ගෙවතු වල මෙන්ම තේ වතු වලද වැඩිවශයෙන් පොළොව මත කොළ රොඩු අතර කෘමීන් සොයමින් හැසිරේ. කෘමීන්ට අමතරව කුඩා ගෙඩි වර්ගද ආහාර කර ගනී. ප්‍රධාන වශයෙන් උදෑසන සහ ගොම්මං යාමයේ ක්‍රියාශීලි වන පක්ෂියෙකි. වසරේ මාර්තු සිට අප්‍රේල් දක්වා සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. ගහක අත්තක කරුවක් මත පාසි, මුල් කැබලි සහ වෙනත් එවැනි කෙඳි වර්ග උපයෝගි කරගනිමින් තරමක් ගැඹුරු කෝප්පයක හැඩය සහිත කූඩුවක් තනා බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Wednesday, March 3, 2021

වයිරපිය මැසිසැරටිත්තා/පුංචි කොවුල් ඇස් පටියා (Hemipus picatus)

සියළුම දේශගුණික කලාප වල පාහේ වනාන්තර සහ මනාව තුරු ගොමු සහිත පරිසර වල තරමක් දුර්ලභව හමුවන දේශිය පක්ෂියෙකි.නමුත් කඳුකරයේ සුලභව හමුවන අතර වියලි කලාපයේදී ගංගාධාර වනාන්තර වලට අඩු වැඩි වශයෙන් සීමාවේ. ජෝඩු වශයෙන් හෝ රංචු වශයෙන් දැකිය හැකි අතර, ආහාර සොයා විවිධ විශේෂ වල කුරුළු වර්ග එකම මගක ගමන් කරන කුරුළු නඩ වලද සාමාජිකයෙකි. වනාන්තර වියනේ හමුවන කෘමි විශේෂ ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා මෙම පක්ෂියා මැසිමාරාවුන් (Flycatchers) සේ අත්තක් මත සිට එකවර පියාඹා ගොස් ඉගිලෙන කෘමීන් ගොදුරු කර ගනී. මාර්තු සිට මැයි අතර කාලයේ අභිජනනයේ යෙදෙන අතර, වනාන්තර උඩු වියනේ ගසක අත්තක උඩු පැත්තේ විවිධ කෙඳි වර්ග , මකුළු දැල් ආදියෙන් තනා පිටතින් ගස් වල පොතු කැබලි, ලයිකන ආදියෙන් මනාව එම පරිසරය තුලම සැඟවූ, නොගැඹුරු කෝප්පයක හැඩය සහිත කූඩුවක බිත්තර තුනක් පමණ දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Tuesday, March 2, 2021

Monday, March 1, 2021

Pied Thrush/Pied Ground Thrush/ගෝමර වල් අවිච්චියා/ගෝමර තිරාසිකයා[Gomara Wal Awichchiya/Gomara Tirasikaya] (Zoothera wardii)

Rather uncommon winter migrant to forests, ravines and well -wooded gardens in the mid hills and above, arriving in October to November and leaving back to its breeding grounds in the Himalayas about March. Pied Thrush mainly feeds on insects on the ground, turning over the leaves beneath the undergrowth. It also eats berries of tall trees.