Sunday, April 26, 2020

නිල් මහගොයා (Ducula aenea)

දේශීය පක්ෂියෙකු වන නිල් මහගොයා මෙරට තුල හමුවන පරවි කුලයේ විශාලතම සාමාජිකයාද වේ. පහතරට සිට කඳුකරයේ පහල ප්‍රදේශය දක්වාම වූ වනාන්තර සිය වාසභූමිය කරගන්නා නිල් මහාගොයා නිතර වනාන්තරයේ උඩු වියනේ ගස්  මත දැකිය හැක. යුගල වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් ජීවත් වන අතර විශේෂයෙන්ම පළතුරු හටගන්නා කාලයේ රංචු ලෙස එම ගස් මත දැකගත හැක. උදෑසන සහ සවස් කාලයේ වඩාත් ක්‍රියාකාරී වන අතර ප්‍රධාන වශයෙන් පළතුරු ආහාර කර ගනී. දිය කඩිති වල රැදී ඇති ජලය පානය කිරීමට පමණක් බිමට බසින නිල් මහගොයන් අන් අවස්ථා වල තුරු මත පමණක් සිටින පක්ෂියෙකි. දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ කුඩා ගසක් මත කොටු කැබැලි වලින් කූඩුවක් සාදා එක් බිත්තරයක් පමණක් දමා අභිජනනයේ යෙදෙයි.

Wednesday, April 22, 2020

විවරතුඩුවා/බෙල්ලන් කොකා (Anastomus oscitans)

හොටේ උඩු සහ යටි කොටස් එකට තබා ගත් විටද මැදින් විවරයක් දක්නට ලැබෙන හෙයින් විවරතුඩුවා ලෙසින් හැඳින්වෙන මෙම දේශීය පක්ෂියා මෙරට දැකිය හැකි ප්‍රමාණයෙන් විශාල කොකුන් අයත් වන පවුලේ (Storks) කුඩාම සාමාජිකයාය. වගුරු බිම්, වැව්, කුඹුරු සහ කලපු ආශ්‍රිතව සුලභ ලෙසින් හමුවන අතර පහත රට වියලි කලාපයේ වඩාත් සුලභව දැකිය හැක. තනිව, කුඩා රංචු වශයෙන් මෙන්ම ඇතැම් විට විශාල රංචු ලෙසින්ද හමුවන විවරතුඩුවන් මෑත කාලයේ තෙත් කලාපයේ විශේෂයෙන් කොළඹ අවට, මුතුරාජවෙල, බෙල්ලන්විල වැනි වගුරු බිම් සහ බස්නාහිර පලාතේ කුඹුරු ආශ්‍රිතවද සුලභව දක්නට ලැබෙන පක්ෂියෙකු බවට පත්වී ඇත. ප්‍රධාන වශයෙන් බෙල්ලන් ආහාරයට ගන්නා මුත්  ගෙම්බන්, කකුළුවන් , මත්ස්‍යයන් මෙන්ම වගුරු බිම් ආශ්‍රිතව හමුවන වෙනත් එවැනි කුඩා සතුන්ද ගොදුරු කර ගනී. මෙම කොකාගේ සුවිශේෂ හොට බෙල්ලන්ගේ ඝන කටුව තුලින් මාංශමය ජීවියා එලියට ඇද ගැනීම සදහා වූ අනුවර්තනයක් ලෙස සැලකේ. එසේම  මෙම වීවරතුඩුවන් දෙපියන් බෙල්ලන් ජලයෙන් ගොඩ බිමට ගෙනවුත් තබා සූර්ය රශ්මිය හේතුවෙන් පියන් විවර වූ විට ඒ තුල සැගවී සිටින බෙල්ලා ආහාර කර ගන්නා අයුරු නිරීක්ෂණය කර ඇත. අවුව සහිත දිනවල සංවහන ධාරා සමග අහසේ ඉතා ඉහලට නැගී සිටින මෙම කොකුන් රංචු දැක ගත හැක. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන විවරතුඩුවන් ජලයට ආසන්නව පිහිටි ගස් මත ඇතැම්විට සියගණනකින් යුත් වෙනත් කොකුන් වර්ගද සමග සමූහ වශයෙන් කූඩු තනා අභිජනනයේ යෙදේ.

English Post >>

Wednesday, April 15, 2020

පුංචි දියකාවා (Phalacrocorax niger)

පහත රට ජලාශ්‍රිත පරිසර වල ඉතාමත්ම සුලභ පක්ෂියෙකි. වියලි කලාපයේ විශාල රංචු ලෙසින් හමුවන අතර කඳුකරයේ කලාතුරකින් පහත රට ප්‍රදේශ වල සිට සංක්‍රමනය වන පක්ෂීන් දැකිය හැක. ඉතාම හොඳින් ජලයේ පිහිනීමට මෙන්ම කිමිදීමටද හැකියාවක් ඇති අතර මසුන් ඇල්ලීමේදී තරමක කාලයක් ජලය යට රැදී සිටිමින් ජලය තුලට පිවිසුන ස්ථානයේ සිට සැලකිය යුතු දුරකින් නැවත මතුවන පුංචි දියකාවන් නිරීක්ෂණය කල හැක. තෙමුන පියාපත් වේලාගැනීම උදෙසා ජලය තුල පිහිටි මියගිය ගසක අත්තක් මත, ජල මතුපිටින් ඉහලට මතුවූ ගල් කුලක් මත හෝ ගංගාවක ඉවුරේ පිහිටි ස්ථානයක දිගු වේලාවක් නැවති සිටින පුංචි දියකාවන්ද සුලභ දර්ශනයකි. ඔක්තෝබර් මාසයේ පමණ ඊසාන දිග මෝසම් සුලං ආරම්භයත් සමග පුංචි දියකාවන්ගේ අභිජනන සමය උදාවී අප්‍රේල් පමණ වනතෙක් වතුර තුල පිහිටි ගස් අතු වල වෙනත් දියකාවන් සහ කොක් විශේෂ සමග සමූහ වශයෙන් කූඩු තනා අභිජනනයේ යෙදෙයි.

English Post >>

Monday, April 13, 2020

රුක් වඩු කුරුල්ලා (Ploceus philippinus)

පහත රට වියලි කලාපයේ පන් ගාල් අතර, කුඹුරු ආශ්‍රිතව සහ වගුරු බිම් වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද ඇතැම් සීමිත ප්‍රදේශ ආශ්‍රිතව කලාතුරකින් හමුවේ. විශාල රංචු වශයෙන් හමුවන රුක් වඩුකුරුල්ලන් වී, කුරක්කන් ආදී වගා කරන ධාන්‍ය ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. එසේම වෙනත් එවැනි බීජ වර්ග මෙන්ම කෘමීන්ද රුක් වඩු කුරුල්ලාගේ ආහාර අතර වේ. සමූහ වශයෙන් වසර පුරාම පාහේ අභිජනනයේ යෙදෙන අතර පිරිමි කුරුල්ලා ජලාශ්‍රිතව පිහිටි ගසක දිගු එල්ලා වැටෙන කූඩුවක් තනයි. බොහෝවිට එකම ගසක වඩු කුරුළු කූඩු ගණනාවක් දැකිය හැකි අතර ගැහැණු කිරිල්ලය එහි සුදු පැහැති බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමයි.

English Post >>

Sunday, April 12, 2020

මාල කොබෙයියා (Streptopelia decaocto)

වයඹ දිග වෙරල කලාපයේ සිට උතුර හරහා ඊසාන දිග වෙරල තීරුව දක්වා සීමිත ව්‍යාප්තියක් සහිත දේශීය පක්ෂියෙකි. යුගල වශයෙන් හෝ විසිරුණු රංචු ලෙසින් පොලොව මතු පිට ධාන්‍ය වර්ග සහ තණකොල බීජ ආදිය ආහාරයට ගන්නා මාල කොබෙයියන් විවෘත ප්‍රදේශ සහ ලඳු කැලෑ ආශ්‍රිතව දැකිය හැක. අප්‍රේල් සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන මාල කොබෙයියන් වෙනත් පරවියන් ලෙසින්ම කෝටු කැබැලි සහ පරඩැල් වලින් එතරම් ක්‍රමවත් නැති කූඩුවක් කටු පඳුරක හෝ කඩොලාන පඳුරු අතර තනා එහි සුදු පැහැති බිත්තර දෙකක් දමයි.

English post >>

Saturday, April 11, 2020

අටු වැහිලිහිණියා (Hirunda rustica)

ඊසාන දිග මෝසම් සුලං ආරම්භයත් සමග මෙරටට පැමිණ අප්‍රේල් අවසානය දක්වා පමණ දිවයින පුරාම පාහේ දැකිය හැකි ඉතාමත් සුලභ සංචාරක පක්ෂියෙකි. ඉතා වේගයෙන් පියාඹමින් අහසේදී කෘමීන් ගොදුරු කර ගන්නා අටු වැහිලිහිණියා දවසේ වැඩි කාලයක් පියාඹමින් ගත කරයි. නිතරම 10 සිට 30 දක්වා පමණ හෝ ඊටත් වඩා වැඩි රංචු ලෙසින් හමුවන අටු වැහිලිහිණියන් සමූහ වශයෙන් ටෙලිපෝන් හෝ විදුලි රැහැන් මත වසා සිටිනු දැකිය හැක. මෙරට තුල රැදී සිටින සමයේ රාත්‍රියේදී දහස් ගනන් රංචු ලෙස රත්නපුර වැනි නගර වල විදුලි රැහැන් මත වසා සිටින අටු වැහිලිහිණියන් සුලභ දසුනකි.

English Post >>

Thursday, April 9, 2020

කළු කොණ්ඩයා/කළු පිරි-කොණ්ඩයා (Hypsipetes leucocephalus)

පහත රට තෙත් කලාපයේ සහ පහල කඳුකරයේ වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත ගස් කොළන් බහුල ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. ඉහල කඳුකරයේ සහ වියලි කලාපයේ ඇතැම් ප්‍රදේශ වල විශේෂයෙන් ගංගා ආශ්‍රීතව කලාතුරකින් හමුවේ. පළතුරු, කුඩා ගෙඩි වර්ග සහ කෘමීන් ආහාරය ගන්නා කළු කොණ්ඩයන් නිතරම විවිධ ශබ්ද නගමින් ඝෝෂාකාරී ලෙස වනාන්තර උඩු වියනේ කුඩා රංචු වශයෙන් සැරිසරයි. ප්‍රධාන වශයෙන් මාර්තු සිට මැයි දක්වා අභිජනනයේ යෙදෙන මුත් නැවතත් ජූලි සිට සැප්තැම්බර් අතර කාලයේද දෙවෙනි වරටත් අභිජනනයේ යෙදෙන කළු කොණ්ඩයන්ද නිරීක්ෂණය කර ඇත. ගසක අතු දෙබලක කුඩා කෝප්පයක හැඩැති කූඩුවක් තනා බිත්තර දෙකක් දමයි.

English Post >>

Wednesday, April 8, 2020

රතු දෙමලිච්චා (Turdoides rufescens)

මෙරටට ආවේනික පහත රට තෙත් කලාපයේ සහ ආසන්න කඳුකර ප්‍රදේශ වල වනාන්තර වල හමුවන පක්ෂියෙකි. පක්ෂීන් 7 -10 හෝ ඊට වැඩි රංචු වශයෙන් ජීවත් වන රතු දෙමලිච්චන් ආහාර සොයා එකම මගක ගමන් කරන කුරුළු විශේෂ ගණනාවකින් සමන්විත කුරුළු නඩ වලද සාමාජිකයෙකි. වනාන්තරයේ යටි වියනේ සහ ගස් වල පහත අතු මතින් ගමන් කරමින් කෘමීන් සහ කුඩා ගෙඩි වර්ග ආහාරයට ගන්නා රතු දෙමලිච්චන් වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලයේ අභිජනනයේ නියැලේ. තද කොළ පැහැති බිත්තර සහ කූඩුව පොදු දෙමලිච්චාගේ කූඩුවට සහ බිත්තර වලට බෙහෙවින් සමාන අතර එය පඳුරු අතර මනාව සැඟවුණ ස්ථානයක ඉදිකරයි.

English Post >>

Monday, April 6, 2020

පුංචි සුදුකොකා/පුංචි අනු-කොකා(Egretta garzetta)

ඉතාමත් සුලභ ලෙස වගුරු, කුඹුරු, ඇල මාර්ග, කලපු කඩොලාන සහ වැව් ආශ්‍රිතව හමුවන දේශීය පක්ෂියෙකි. පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල ප්‍රදේශය දක්වාම ව්‍යාප්තව ඇති අතර ඉහල කඳුකරයේ දුර්ලභය. මත්ස්‍යයන් සහ වෙනත් එවැනි ජලජ ජීවින් ආහාරයට ගන්නා පුංචි සුදුකොකා දෙසැම්බර් සිට මැයි දක්වා අතර කාලයේ අභිජනනයේ නියැලේ. සමූහ වශයෙන් ජලාශ්‍රිත වෙනත් පක්ෂීන් සමග වතුරට ආසන්නයේ පිහිටි ගස් මත කෝටු ගොඩක් එකතු කල වේදිකාවක් බඳු වූ කූඩුවක් තනා එහි බිත්තර 3-4 දමයි.

English Post >> 

Saturday, April 4, 2020

කොණ්ඩ රාජාලියා/පෙරැළි කොණ්ඩකුස්සා(Spizaetus cirrhatus)

පහත රට වියලි කලාපයේ සහ කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා (මීටර 1500 පමණ වන තෙක්) විවෘත වනාන්තර වල සහ උස ගස් සහිත හේන් සහ වැව් ආශ්‍රිත ලඳු කැලෑ වන් ප්‍රදේශ වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේද හමුවන මුත් එතරම් සුලභ නොවේ. දවසේ වැඩි කාලයක් උස ගසක විවෘත අත්තක් මස සිටිමින් කටුස්සන්, මීයන් සහ කුරුල්ලන් වැනි ගොදුරු කරගන්නා සත්වයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින කොණ්ඩ රාජාලියන් එවන් ගොදුරක් දුටු විට වේගයෙන් ඒ කරා පියාඹා යන ආකාරය නිරීක්ෂණය කල හැක. සාමාන්‍යයෙන් වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදෙන මුත් ජූනි - ජුලි මාස වලද අභිජනනයේ යෙදෙන කොණ්ඩ රාජාලියන් දැකිය හැක. සාමාන්‍යයෙන් කඳු බෑවුමක හෝ ගිරිකඳුරක පිහිටි උස ගසක, මීටර 12 සිට 30 පමණ වූ උසක කෝටු කෑලි එක මත එක තබා සාදන විශාල වේදිකාවක් බඳු වූ කූඩුවක බොහෝවිට එක් බිත්තරයක් පමණක් දමයි. කූඩුව සෑදීමේදි පිරිමි සහ ගැහැණු පක්ෂීන් දෙදෙනාම සම්මාදම් වන මුත් බිත්තර රැකීම ගැහැණු පක්ෂියා පමණක් සිදු කරයි.
English Post >>

Thursday, April 2, 2020

ගිණි කුරුල්ලා/දිළි රත් මිනිවිත්තා (Pericrocotus flammeus)

දිවයින පුරාම පාහේ වනාන්තර සහ එවැනි වෙනත් ගස් කොළන් බහුල ප්‍රදේශ වල සුලභ දේශීය පක්ෂියෙකි. එහෙත් කඳුකරයේ වඩාත් සුලභව හමුවේ. යුගල වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් හැසිරෙන ගිණි කුරුල්ලන් ගස් අතර පියාඹමින් අතු පතර සිටින දලඹුවන්, පළගැටියන් වැනි කෘමීන් ආහාරයට ගනී. වසරේ පෙබරවාරි සිට මැයි දක්වාත් නැවත අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් අභිජනනයේ යෙදෙන ගිණි කුරුල්ලන් ලයිකන, ගස් පොතු වැනිදෑ වලින් බාහිරෙන් මැනවින් සඟවා කෝප්පයක හැඩය සහිත කූඩුවක් කොළ වල මැද නාරටි ආදිය මකුළු දැල් වලින් එකතු කර උඩු වියනේ ගසක අත්තක් මත සාදයි.
English Post >>

Wednesday, April 1, 2020

අලු ප්‍රීනියා/ අලු හම්බුකුරුල්ලා (Prinia socialis brevicauda)

දිවයින පුරා තෘණභූමි, කුඹුරු සහ ලඳු කැලෑ වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. නමුත් වියලි කලාපයේ වඩාත් සුලභව හමුවේ. යුගල වශයෙන් ජීවත් වන අළු හම්බුකුරුල්ලා කුඩා කෘමීන් සහ මකුළුවන් සහ වෙනත් එවන් කුඩා සතුන් ආහාරයට ගනී. අභිජනනය පෙබරවාරි සිට ජූනි දක්වාත්, අගෝස්තු සිට ඔක්තෝබර් දක්වාත් සිදුවේ.
English Post >>