Sunday, November 27, 2022

වැව් රාජාලියා/අළුහිස් මසුකුස්සා (Ichthyophaga ichthyaetus)

 එතරම් සුලභ නොවන දේශීය පක්ෂියෙකු වන වැව් රාජාලියා පහත රට වියලි කලාපයේ වනාන්තර ආශ්‍රිත වැව්, විල්ලු සහ ගංගා  වාසභූමිය කරගනිමින් වෙසේ. බොහෝ වේලාවක් වතුර මතුපිටට ඉහලින් වැටී ඇති අත්තක් මතට වී ගොදුරු කරගැනීමට මත්ස්‍යයෙකු දිය මතු පිටට එනතුරු බලා සිටින වැව් රාජාලියා උදෑසන සහ ගොම්මන් කාලයේ, විශේෂයෙන්ම අභිජනන සමයේ  ඝෝෂාකාරි ලෙස හඬ නගයි. වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ  උස ගසක් මුදුනේ කෝටු කෑලි විශාල ප්‍රමාණයක ගොඩක් ලෙස වූ කූඩුවක් තනා එහි බිත්තර එකක් හෝ දෙකක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Monday, November 21, 2022

සුදු හැලපෙන්දා (Motacilla alba dukhunensis)

 දුර්ලභ නමුත් නිත්‍ය සංචාරක පක්ෂියෙකු වන සුදු හැලපෙන්දා සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පහත රට විවෘත බිම් වල සහ වගා බිම් වල, බොහෝවිට ජල මූලාශ්‍රයකට ආසන්නව පොළොව මත කුඩා කෘමීන් ගොදුරු කරගනිමින් හැසිරෙනු නිරීක්ෂණය කල හැක. නිතර තනි පක්ෂීන් ලෙස දැක ගත හැකි මුත් ඇතැම්විට විසිරුණු කුඩා රංචු ලෙසින් හෝ වෙනත් හැලපෙන්දන් විශේෂ සමගද නිරීක්ෂණය කල හැක. වෙනත් හැලපෙන්දන් මෙන්ම විශාල රංචු ලෙසින්  සමූහ වශයෙන් පන් ගාලක් වැනි තැනක රාත්‍රී කාලය ගත කරයි. 

English Post >>


Sunday, November 20, 2022

රෝස සැරිකාවා/රෝස මයිනා (Pastor roseus)

 එතරම් සුලභ නොවන සංචාරක පක්ෂියෙක් වන රෝස මයිනා ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ, විශේෂයෙන්ම වෙරළබඩ ප්‍රදේශ වල තෘණභූමි, වගා බිම්, ගෙවතු මෙන්ම වනාන්තර වලද බොහෝවිට විශාල රංචු වශයෙන් හමුවේ. ඝෝෂාකාරි පක්ෂියෙක් වන අතර වැඩි වශයෙන් පොළොව මත  සැරිසරමින් කෘමීන්, පළතුරු, කුඩා ගෙඩි වර්ග, මල් පැණි, සහ ධාන්‍ය වර්ග ආහාරයට ගනී. ඇතැම් වසර වල විශාල රංචු  වශයෙන් දැකගන්නට හැකි වුවත් තවත් ඇතැම් වර්ෂ වල මුළුමනින්ම නොමැති තරම් අල්ප පක්ෂීන් ප්‍රමාණයක් මෙරට තුලදී වාර්තා වේ. රෝස මයිනන් රාත්‍රී කාලයේ රංචු වශයෙන් තෝරාගත් ගසක්  හෝ පඳුරක් මත ලැගුම් ගනී. නැගෙනහිර යුරෝපයේ සහ මැදපෙරදිග ප්‍රදේශ වල අභිජනනය කරන රෝස මයිනන් මුළු ගහණයම ශීත කාලයේදි ඉන්දියාවේ සහ ලංකාවේ ගත කරයි. මෙරටට පැමිණෙන බොහෝ රෝස මයිනන් නොමේරු පක්ෂීන්ගේ පිහාටු දරන බව නිරීක්ෂණය කර ඇත.

English Post >>