Monday, May 29, 2023

බොර ඉසැසි ගෝමර කෑරලා/චූටි කෑරලා ( Picoides nanus)


පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වියලි සහ තෙත් යන කලාප දෙකේම පාහේ වනාන්තර සහ ඒ ආශ්‍රිත හොඳින් ගහ කොළන් සහිත ගෙවතු වල එතරම් සුලභ නොවන ලෙස හමුවන පක්ෂියෙකි. ජෝඩු වශයෙන් ජීවත් වෙමින් ගස් වල පොත්ත තුල ජීවත් වන කුහුඹුවන්, වේයන්, වැනි කෘමීන් ගොදුරු කරගනී. බොහෝවිට ගස් මුදුන් වල ඇති හීනි අතු වල මේ ආකාරයෙන් කෘමින් සොයමින් යන මෙම කෑරලා නිතර සිය සහකරුවා සමග නාද කරමින් සම්බන්ධතාවය පවත්වා ගනී. පෙබරවාරි සිට ජූලි දක්වා කාලයේ දිරා ගිය අත්තක පහල මතුපිට හෝ කොටයක බෙනයක් හාරා එහි බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි. 

English Post >>

Sunday, May 28, 2023

දුම්බොන්නා (Coracias benghalensis)

දුම්බොන්නා පහත රට වියලි කලාපයේ සිට කඳුකරයේ පහල කොටස දක්වා සුලභ දේශිය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද දුර්ලභ ලෙසින් ඇතැම් ස්ථාන වල කලාතුරකින් දැක ගත හැක. පොල් වතු, හේන් වැනි විවෘත ස්ථාන වල තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු වශයෙන් හමුවේ. තෘණ භූමි සහ ලඳු බිම් ගිනි තැබූ විට හෝ විශේෂයෙන්ම හේන් වගාවන් සඳහා වනාන්තර බිම් ගිනි ගන්නා විට එම ගින්නෙන් බේරීම සඳහා පියඹා යන පළගැටියන්, කුරුමිණියන් වැනි පියාඹන කෘමීන් ඩැහැ ගැනීම උදෙසා එම ගිනි ගන්නා ස්ථාන උඩින් පියඹා යෑම නිසා දුම්බොන්නා ලෙසින් සිංහල ගැමියන් අතර මෙම පක්ෂියා හැඳින්වේ. එවන් කෘමීන්ට අමතරව කටුස්සන් හිකනලන් වැනි කුඩා සතුන්ද ආහාරයට ගන්නා දුම්බොන්නා බොහෝවිට මෙම රූපයේ පෙනෙන අයුරින්ම, දුරකථන හෝ විදුලි රැහැන් මත හෝ වැටක කණුවක් වැනි වෙනත් එවැනි උස් ස්ථානයක බොහෝවේලා සිටිමින් පහලට පියඹා ගොස් එවන් සතුන් ගොදුරු කරගනී. ජනවාරි සිට ජූනි දක්වා කාලයේ දිරාගිය ගසක බෙනයක් තුල බිත්තර 2 සිට 4 දක්වා ප්‍රමාණයක් දමා දුම්බොන්නා අභිජනනය කරයි.

English Post >>