Saturday, April 30, 2022

කළු මැටිකොකා (Ixobrychus flavicollis)

පහත රට වගුරු බිම්, පන්ගාල්  සහ ජලයට ආසන්නව හොඳින් පඳුරු සහ වැල් වර්ග ඝනව වැඩුන ස්ථාන වල හමුවන දුර්ලභ දේශීය පක්ෂියෙකි. එසේම සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශ වලට සංක්‍රමණය වන සංචාරක කළු මැටිකොකුන්ද සිටී. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාශීලි පක්ෂියෙකු වුවත් ඇතැම් විට දිවා කාලයේ සැඟවි සිටින ජලයට ආසන්න ඝන පඳුරු සහිත ආරක්ෂිත ස්ථානය තුලින් එලියට පැමිණ ඒ ආසන්නයේ මසුන් අල්ලාගන්නා ආකාරයද නිරීක්ෂණය කල හැක. කළු මැටි කොකා ප්‍රධාන වශයෙන් මසුන් ගොදුරු කරගන්නා මුත් ඊට අමතරව ගෙම්බන් සහ කෘමීන්ද ආහාරයට ගනී. මෙරට තුල  අභිජනනය කරන කළු මැටි කොකුන් අවස්ථා කිහිපයකදී අප්‍රේල් මාසයේදී වියලි කලාපයේදී නිරීක්ෂණය කර ඇත. ජලයට ආසන්නව පිහිටි ගසක ජලයට ඉහලින් පිහිටි අත්තක කෝටු කැබැලි යොදාගෙන සාදන කුඩා කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි. 

English Post >>