Wednesday, April 22, 2020

විවරතුඩුවා/බෙල්ලන් කොකා (Anastomus oscitans)

හොටේ උඩු සහ යටි කොටස් එකට තබා ගත් විටද මැදින් විවරයක් දක්නට ලැබෙන හෙයින් විවරතුඩුවා ලෙසින් හැඳින්වෙන මෙම දේශීය පක්ෂියා මෙරට දැකිය හැකි ප්‍රමාණයෙන් විශාල කොකුන් අයත් වන පවුලේ (Storks) කුඩාම සාමාජිකයාය. වගුරු බිම්, වැව්, කුඹුරු සහ කලපු ආශ්‍රිතව සුලභ ලෙසින් හමුවන අතර පහත රට වියලි කලාපයේ වඩාත් සුලභව දැකිය හැක. තනිව, කුඩා රංචු වශයෙන් මෙන්ම ඇතැම් විට විශාල රංචු ලෙසින්ද හමුවන විවරතුඩුවන් මෑත කාලයේ තෙත් කලාපයේ විශේෂයෙන් කොළඹ අවට, මුතුරාජවෙල, බෙල්ලන්විල වැනි වගුරු බිම් සහ බස්නාහිර පලාතේ කුඹුරු ආශ්‍රිතවද සුලභව දක්නට ලැබෙන පක්ෂියෙකු බවට පත්වී ඇත. ප්‍රධාන වශයෙන් බෙල්ලන් ආහාරයට ගන්නා මුත්  ගෙම්බන්, කකුළුවන් , මත්ස්‍යයන් මෙන්ම වගුරු බිම් ආශ්‍රිතව හමුවන වෙනත් එවැනි කුඩා සතුන්ද ගොදුරු කර ගනී. මෙම කොකාගේ සුවිශේෂ හොට බෙල්ලන්ගේ ඝන කටුව තුලින් මාංශමය ජීවියා එලියට ඇද ගැනීම සදහා වූ අනුවර්තනයක් ලෙස සැලකේ. එසේම  මෙම වීවරතුඩුවන් දෙපියන් බෙල්ලන් ජලයෙන් ගොඩ බිමට ගෙනවුත් තබා සූර්ය රශ්මිය හේතුවෙන් පියන් විවර වූ විට ඒ තුල සැගවී සිටින බෙල්ලා ආහාර කර ගන්නා අයුරු නිරීක්ෂණය කර ඇත. අවුව සහිත දිනවල සංවහන ධාරා සමග අහසේ ඉතා ඉහලට නැගී සිටින මෙම කොකුන් රංචු දැක ගත හැක. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන විවරතුඩුවන් ජලයට ආසන්නව පිහිටි ගස් මත ඇතැම්විට සියගණනකින් යුත් වෙනත් කොකුන් වර්ගද සමග සමූහ වශයෙන් කූඩු තනා අභිජනනයේ යෙදේ.

English Post >>

No comments:

Post a Comment