Friday, October 22, 2021

ඔටුමානා/තිත් හොට පැස්තුඩුවා (Pelecanus philippensis)

පහත රට වියලි කලාපයේ වැව්, වගුරු බිම් සහ කලපු වල සුලභ පක්ෂියෙකි ඔටුමානා හෙවත් තිත් හොට පැස්තුඩුවා. තවද දෙහිවල සත්ව උද්‍යානයෙන් මුදාහල පක්ෂීන්ගෙන් ඇරඹුන තෙත් කලාපය තුලද අභිජනනය කරන සමූහයන් කිහිපයක්ම කොළඹ අවට තෙත් බිම් වාසස්ථාන කරගනිමින් වෙසේ. පක්ෂීන් දෙතුන් දෙනාගෙන් සැදුන රංචු වල සිට ඇතැම් විට සියය ඉක්මවන සාමාජිකයන් සහිත රංචු දක්වා ඔටුමානාවන් රංචු ලෙසින් දිවිගෙවයි. ඔවුන් බොහෝවිට රංචු ලෙසින්ම ජලයේ මසුන් අල්ලමින් වැඩි කාලයක් ගත කරයි. මාර්තු සිට මැයි දක්වා කාලයේ ජලයෙන් යට වූ හෝ වගුරක පිහිටි ගස් මත කෝටු කැබැලි සහ පරඬැල් භාවිතා කරමින් සාදන විශාල කූඩුවක බිත්තර දමා අභිජනනයේ යෙදෙයි . බොහෝවිට එක් ගසක පක්ෂීන් කිහිප දෙනෙකුගේම කූඩු දැක ගත හැකි අතර, වෙනත් කොකුන්, දියකාවන් වැනි පක්ෂීන්ගේ කූඩුද එම ගස් වල මෙන්ම අවට අනෙකුත් ගස් වලද එම කාලයේදි සුලභව දැක ගත හැක (මෙලෙස විවිධ පක්ෂීන් එක්ව එකම පෙදෙසක කූඩු තැනීමෙන් බිත්තර සහ කුඩා පැටවුන් ආහාර කර ගන්න විලෝපිකයන්ට එම සියළු පක්ෂීන්ගේ අවධානයෙන් මිදී සිය ගොදුරු කරා ලගා වීමට අපහසු වේ.) ඔටුමානාට වේගයෙන් මෙන්ම ඉතාමත්ම ඉහල ආකාශයේ පියාසර කිරීමේ හැකියාව ඇත. බොහෝවිට රංචු ලෙස පියාසර කිරීමේදී  ඉංග්‍රීසි V අකුරේ හැඩයට පියාසර කරන ඔටුමානා රංචු නිරීක්ෂණය කල හැක. ඔටුමානා ගෝලීය වශයෙන් තර්ජිත කාණ්ඩයට අයත් පක්ෂියෙකු වුවත් මෙරට තුල සුලභව හමුවීම විශේෂත්වයකි.  

English Post >>

No comments:

Post a Comment