Monday, May 2, 2022

මයිනා/ගොන් කවඩියා (Acridotheres tristis)

මුහුදු මට්ටමේ සිට මීටර 1700 ක පමණ උසක් දක්වා සියලුම දේශගුණික කලාප වල සුලභ දේශීය පක්ෂියෙකි. ගෙවතු, වගා බිම් සහ තණ බිම් ආදියෙහි හමුවන මයිනා ඝන වනාන්තර තුල හමු නොවේ. නිතරම එළ සහ මී ගවයන් සමග දැකිය හැකි අතර ඔවුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් මෙන්ම ගවයන් ගමන් කිරීමේදි ඔවුන්ගේ පාද වලින් බාදා වී පලා යන කෘමින් , විශේෂයෙන් පලගැටියන් ගොදුරු කර ගනී. සිංහල භාෂාවෙන් ගොන් කවඩියා යන නම මෙම පක්ෂියා හැඳින්වීමට මේ නිසා ගැමියන් අතර භාවිතා වේ. මයිනන් එකම ජෝඩුව ජීවිත කාලය තුලම එකට වෙසෙන බව විශ්වාස කරයි. නමුත් ඇතැම් විට අභිජනන කාලයෙන් පිට මාස වලදී පක්ෂීන් සැලකියයුතු තරම් ප්‍රමාණයක් එකතු වී රංචු ලෙසින්ද හැසිරෙන ආකාරය දැකිය හැක. එසේම රාත්‍රි කාලයේදී දහස් ගණන් පක්ෂීන් තෝරාගත් එක් ස්ථානයක ලැගුම් ගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. බොහෝවිට ගස් කිහිපයක් (ඇතැම්විට ජනාකීර්ණ නගර මධ්‍යක) හෝ වගුරු බිමක ඇති පඳුරු කිහිපයක් මේ සඳහා තෝරාගනී. මාර්තු සිට අගෝස්තු හෝ සැප්තැම්බර් දක්වා කාලයේ ගස් බෙනයක කෝටු කැබලි, පිදුරු සහ පිහාටු ආදිය එකතු කර තනන කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි. 

English Post >>

1 comment: