Sunday, May 29, 2022

හඳුන් දිවියා (Prionailurus viverrinius)

 හඳුන් දිවියා යනු හොඳින් වැඩුන පිරිමි සතෙකු හීලෑ බල්ලෙකුගේ ප්‍රමාණයට සමාන වන තරමක් විශාල වල් බළලෙකි. සැඟවී සිටීමට යම් තරමක කැලෑවක් මායිම්ව පිහිටි වගුරු බිම්, කඩොලාන, පන් ගාල්, වැව්, ඇල දොල, ගංගා මෙන්ම ඇතැම් විට කුඹුරු ආදී ජලාශ්‍රිත පරිසර වලද දිවි ගෙවන හඳුන් දිවියා දිවයිනේ උතුරු ප්‍රදේශයේ හැර අනෙක් සෑම ප්‍රදේශයකම පාහේ සුදුසු පරිසර පද්ධති වල හමුවේ. ඇතැම් විට ආහාර සුලභව හමුවන සහ වාසය කිරීමට සුදුසු ආරක්ෂිත ස්ථාන සහිත නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වලද හඳුන් දිවියන් හමුවේ. වීශේෂයෙන් කොළඹ ආශ්‍රිත වගුරු බිම් බොහෝමයක සැලකිය යුතු මට්ටමේ හඳුන් දිවි ගහණයක් වාර්තා වී ඇත. සාමාන්‍යයෙන් නිශාචර සත්වයකු වුවත් මිනිසාගෙන් තර්ජන අඩු ප්‍රදේශ වල දිවා කාලයේදි වුවද හඳුන් දිවියන් සැරිසරන ආකාරය නිරීක්ෂණය කර ඇත. ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන් ගොදුරු කරගන්නා මුත් හඳුන් දිවියා සර්පයන්, කකුළුවන්, ගොළුබෙල්ලන්, මීයන්, ගෙම්බන්, උරුලෑවන්, ඌරන්ගේ සහ මුවන්ගේ පැටවුන්, බල්ලන් , බළලුන් මෙන්ම ජලාශ්‍රිත පක්ෂීන් ආදී කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ  බොහෝ සතුන් දඩයම් කරන බවට වාර්තා ඇත. වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදෙන හඳුන් දිවියන් වරකට පැටවුන් දෙකක් හෝ තුනක් බිහි කරයි. බොහෝ විට තනිව වාසය කරන හඳුන් දිවියන් ගොදුරු සොයා යෑම සහ වාසය කිරීම උදෙසා ඔවුන් සඳහාම යම් කිසි ප්‍රදේශයක් වෙන් කර ගනී.

English Post >>

2 comments: