Sunday, July 14, 2024

Date Plum (Chrysophyllum oliviforme)

 An introduced shrub or tree native to West Indies. Introduced in 1814 and cultivated occasionally in home gardens as an ornamental plant.

Thursday, July 11, 2024

වල් පොල්කිච්චා (Copsychus malabaricus)

පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල සුලභ දේශීය පක්ෂියෙකි වල් පොල්කිච්චා. පහත රට වියලි කලාපීය වනාන්තර වල වඩාත් සුලභ වන අතර ස්ථානිය වශයෙන් එතරම් සුලභ නොවන ලෙස ඇතැම් තෙත් කලාපීය වනාන්තර වලද හමුවේ. ප්‍රධාන වශයෙන් කෘමින් ආහාරයට ගන්නා මෙම පක්ෂියා බොහෝවිට වනාන්තරයේ හමුවන කුඩා ගෙඩි වර්ගද ආහාරයට ගන්නා බවට අනුමාණ කෙරේ. ජෝඩු වශයෙන් දිවිගෙවන වල් පොල්කිච්චා මාර්තු සිට මැයි දක්වා කාලයේ ගසක බෙනයක කෙඳි වර්ග එකතු කර කොට්ටයක් ලෙසින් තනන කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි.
 
English Post >>

Wednesday, July 10, 2024

හීන් ගිණිකුරුල්ලා/පුංචි මිණිවිත්තා (Pericrocotus cinnamomeus)

පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා සියළුම දේශගුණික කලාප වල පාහේ හොඳින් ගහකොළ සහිත ගෙවතු, විවෘත වන බිම් සහ අතරින් පතර උස් ගස් සහිත ලඳු කැලෑ ආදියේ එතරම් සුලභ නොවන ලෙසින් හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් මෙම පක්ෂියා වැසි වනාන්තර අභ්‍යන්තරයේ හමු නොවේ. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් සැරිසරන හීන් ගිණිකුරුල්ලා දලඹුවන්, තණකොළපෙත්තන්, සලබයන් වැනි සතුන් ආහාරයට ගනිමින් තුරු හිස් මතින් එකා පසු පස එකා ලෙසින් තෝරාගත් ප්‍රදේශයක එක් ගසක සිට තවත් ගසකට පියාසර කරමින් කල් ගෙවයි. ප්‍රධාන වශයෙන් පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ කුඩා කෝප්පයක හැඩැති කූඩුවක් ලයිකන, ශාක පත්‍ර වල මැද නාරටි, මකුළු දැල් ආදිය උපයෝගි කරගනිමින් වනාන්තරයේ ඇති ගසක හෝ රබර් ගසක හෝ තේ වත්තක සෙවනට වවා ඇති ගසක ලයිකන වලින් යුත් කුඩා අත්තක හෝ කරුවක සාදා බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි. 

English Post  >>


Tuesday, July 9, 2024

ශ්‍රී ලංකා කොට්ටෝරුවා/හීන් කොට්ටෝරුවා (Psilopogon rubricapillus)


පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර, ගහකොළ සහිත විවෘත බිම්, ගෙවතු සහ වගා බිම් වල සුලභ ආවේනික පක්ෂියෙකි. වියලි කලාපයේද ස්ථානීය වශයෙන් හමුවේ. වෙනත් කොට්ටෝරුවන් මෙන්ම ශ්‍රී ලංකා කොට්ටෝරුවාද ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගන්නා අතර, අභිජනන සමය නොවන කාලයේදී බෝ, නුග වැනි පළතුරු හට ගන්නා ගස් වල විසිරුණු රංචු වශයෙන් හමුවේ. එසේ නොවන විට තනි තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු ලෙසින් දැකගත හැක. ජනවාරි සිට ජූලි දක්වා කාලයේ ගසක ආනතාකාර අත්තක පහල පෘෂ්ඨයේ හාරන ලද බෙනයක් තුල බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි. 

English Post >>

Monday, July 8, 2024

ගිරාමලිත්තා (Loriculus beryllinus)

පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. තවද පහත රට වියලි කලාපයට අයත් කඳුකරයේ පහල ප්‍රදේශ වලද හමුවේ. තනි තනි පක්ෂීන් වශයෙන් හෝ ජෝඩු වශයෙන් හමුවන ගිරාමලිත්තා තනිකරම ගස් මත වසන පක්ෂියෙකි. පළතුරු, මල් පැණි, ඇට වර්ග ආදිය ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා මෙම පක්ෂියා පොල් සහ කිතුල් ගස් වල රා මදින්නන් විසින් මුට්ටි වල එකතු කරන තෙලිජ්ජ බීමටද රුචිකත්වයක් දක්වයි. ආහාර ගැනීමේදි කඩිසර ලෙස විවිධ කෝණ වලින් අතු අතර එල්ලී සිටීමේ පුරුද්දක් සහිත ගිරාමලිත්තා රාත්‍රී කාලයේදී සිහින් අතු කැබැල්ලක හිස පහලට සිටින සේ එල්ලී නිදා ගනී. මාර්තු සිට ජූනි දක්වා සහ ඇතැම්විට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගස් බෙනයක ගැහැණු පක්ෂියා විසින් කොළ වල අග්ගිසි සිහිනියට ඉරා ගත් කැබැලි එකතු කර තනන කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය සිදුකරයි. 

English Post >>