Monday, July 8, 2024

ගිරාමලිත්තා (Loriculus beryllinus)

පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. තවද පහත රට වියලි කලාපයට අයත් කඳුකරයේ පහල ප්‍රදේශ වලද හමුවේ. තනි තනි පක්ෂීන් වශයෙන් හෝ ජෝඩු වශයෙන් හමුවන ගිරාමලිත්තා තනිකරම ගස් මත වසන පක්ෂියෙකි. පළතුරු, මල් පැණි, ඇට වර්ග ආදිය ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා මෙම පක්ෂියා පොල් සහ කිතුල් ගස් වල රා මදින්නන් විසින් මුට්ටි වල එකතු කරන තෙලිජ්ජ බීමටද රුචිකත්වයක් දක්වයි. ආහාර ගැනීමේදි කඩිසර ලෙස විවිධ කෝණ වලින් අතු අතර එල්ලී සිටීමේ පුරුද්දක් සහිත ගිරාමලිත්තා රාත්‍රී කාලයේදී සිහින් අතු කැබැල්ලක හිස පහලට සිටින සේ එල්ලී නිදා ගනී. මාර්තු සිට ජූනි දක්වා සහ ඇතැම්විට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගස් බෙනයක ගැහැණු පක්ෂියා විසින් කොළ වල අග්ගිසි සිහිනියට ඉරා ගත් කැබැලි එකතු කර තනන කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය සිදුකරයි. 

English Post >>