Saturday, April 16, 2022

ශ්‍රී ලංකා වැහිළිහිණියා/බඩ රතු වැහිළිහිණියා (Hirundo hyperythra)


 මෙරටට ආවේනික සුලභ පක්ෂියෙකි. දිවයින පුරාම පාහේ වනාන්තර වල විවෘත ස්ථාන, වගා බිම්, කුඹුරු සහ ලඳු කැලෑ වල දැකිය හැක. බොහෝවිට ජෝඩු වශයෙන් හමුවන අතර ඇතැම් විට කුඩා රංචු ලෙසින්ද හැසිරේ. බොහෝවිට පොළොවට ආසන්නව පියාඹමින් ඉගිලෙන කෘමින් ගුවනේදී ගොදුරු කර ගනී. ගල් ගුහාවක වහලයේ, පාලමක් යට හෝ ඇතැම් විට ගොඩනැගිල්ලක හෝ නිවසක වහලයේ යට මඩ වලින් බෝතලයක හැඩය සහිත කූඩුවක් සාදා අප්‍රියල් සිට ජූලි දක්වා කාලයේ  බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.

English Post >>

Saturday, April 9, 2022

Sri Lanka white-throated Flowerpecker/Legge's Flowerpecker/ශ්‍රි ලංකා පිළිලිච්චා (Dicaeum vincens)

An endemic bird local and uncommon in forests and well wooded areas from southwestern wet lowlands to adjoining mid hills. Rarely occurs also in higher hills. It lives as solitary birds, in pairs or as little family flocks. Sri Lanka white-throated Flowerpecker feeds on nectar as well as varies fruits and wild figs found high up in tall trees. It breeds from January to August and female bird make a nest, a small felted hanging pocket among leaves high in a tree with the entrance at the top and lays two eggs. 

Friday, April 8, 2022

පුංචි දෙමලිච්චා/වතඳුරු පඳුරු දෙමලිච්චා/හිස කළු දෙමලිච්චා (Rhopocichla atriceps)


සියළුම දේශගුණික කලාපවල පාහේ වනාන්තර වල යටි රෝපනයේ කෘමින් ගොදුරු කරගනිමින්  කුඩා රංචු වශයෙන් හැසිරෙන දේශීය පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් පෙබරවාරි සිට මැයි දක්වාත් , ඇතැම්විට නැවතත් ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වාත් අභිජනනයේ යෙදෙන මෙම කුඩා දෙමලිච්චා වියලි කොල කැබලි වලින් ගස් දෙබලක් මත විශාල විවරයක් සහිත ගෝලාකාර කූඩුවක් තනා එහි බිත්තර දෙකක් දමා පැටවුන් බිහි කරයි.

English Post >> 

Sunday, April 3, 2022

පඳුරු ගොමරිට්ටා (Mirafra affinis)

පහත රට වියලි කලාපයේ සුලභ දේශිය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද දුර්ලභ ලෙසින් ඇතැම් ප්‍රදේශ වල හමුවේ. ජෝඩු වශයෙන් කුඹුරු සහ තෘණභූමි වැනි විවෘත බිම් වල හමුවන පඳුරු ගොමරිට්ටා පලගැටියන් වැනි භූමියේ හමුවන කෘමීන් අහාරයට ගනී. වසරේ මාර්තු සිට ජූලි දක්වා කාලයේ උස් තණකොල පදුරක මුල කුඩා වලක් හාර මනාව සැගවුන කූඩුවක් සාදා එහි බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >> 

Saturday, April 2, 2022

අභිකාවා (Anhinga melanogaster)

පහත  රට වියලි කලාපයේ වැව්, කලපු සහ විශාල ගංගා පද්ධති වල දිවිගෙවන එහෙත්  එතරම් සුලභව හමු නොවන දේශිය පක්ෂියෙකි.පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේ දුර්ලභය. ප්‍රධාන වශයෙන් මාලුන් ගොදුරු කරගන්නා අභිකාවා සිය තියුණු හොටින් ජලයේ කිමිදී ඔවුන් ඩැහැ ගනී. නිබදවම වෙනත් දියකාවන් සමග හැසිරෙන මුත් තනිවම සිටින අභිකාවන්ද දුලභ නොවේ. ඉතා හොඳින් කිමිදීමට මෙන්ම වේගයෙන් පියෑඹීමටද මෙම පක්ෂියාට මනා හැකියාවක් ඇත. ජලය මත පිහිනා යෑමේදි සිය හිස සහ ගෙල පමණක් ඉහලට දිස්වන ලෙසින් තබාගෙන යෑම නිසා ඉංග්‍රීසි භාෂාවෙන් Snake Bird ලෙසින්ද හඳුන්වන මෙම පක්ෂියා පියඹා යෑමේදි හිස කෙලින් කර තබා ගනී. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ බොහෝවිට වෙනත් ජලජ පක්ෂීන් සමග කොලනි ලෙසින් ජලයට ආසන්න ගස් මත කූඩු තනා අභිජනනයේ යෙදේ. 

English Post >>
 

Thursday, March 31, 2022

පොඩි ගොමරිට්ටා/කිරුළළු බිම්රිට්ටා (Eremopterix griseus)


පහත රට වියලි කලාපයේ, විශේෂයෙන්ම වෙරලාසන්න ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභ දේශීය පක්ෂියෙකි. කලාතුරකින් තෙත් කලාපයේ සහ කඳුකරයේද නිරීක්ෂණය කර ඇත. ශුෂ්ක විවෘත බිම්, අස්වැන්න නෙලාගැනීමෙන් පසු වියලී ගිය කුඹුරු සහ තෘණභූමි වල ජෝඩු වශයෙන් හෝ අභිජනන කාලයේ නොවේ නම් ලොකු, කුඩා රංචු වශයෙන් ප්‍රධාන වශයෙන් ශාක බීජ වර්ග ආහාරයට ගනිමින් හැසිරේ. එසේම කෘමි වර්ගද ගොදුරු කර ගන්නා අතර පැටවුන් ප්‍රධාන වශයෙන් කෘමින්ගෙන් පෝෂණය කරයි. ප්‍රධාන වශයෙන් භූමිය මත සැරිසරන පොඩි  ගොමරිට්ටා ගස් මත වසා සිටිනු දැකිය නොහැක. මාර්තු සිට ජූලි දක්වා කාලයේ විවෘත භූමිය මත සෑරු කුඩා වලක් වටා තණකොල අතුරා, ඇතැම්විට කුඩා ගල් සහ මැටි ගුලි වලින්ද අලංකාර කර තනන කූඩුවක බිත්තර 2 ක් දමා අභිජනනයේ යෙදේ. 

 English Post >>

Wednesday, March 30, 2022

දම් සූටික්කා (Nectarinia asiatica asiatica)

පහත රට වියලි කලාපයේ සහ ආසන්න කඳුකර පෙදෙස් වල මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර, ලඳු කැලෑ සහ ගෙවතු වල තරමක් සුලභව හමුවන දේශීය පක්ෂියෙකි.  තෙත් කලාපයේ සහ කඳුකරයේද දුර්ලභව ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. දම් සූටික්කා ප්‍රධාන වශයෙන් මල් වල පැණි ආහාරයට ගන්නා මුත් කුඩා කෘමින්ගේ පිලවුන්, මකුළුවන් සහ එවන් වෙනත් කුඩා කෘමි සතුන්ද ගොදුරු කර ගනී. වසරේ පෙබරවාරි සිට මැයි දක්වා මාස වල එල්ලෙන මල්ලක ආකාරයේ කූඩුවක් තනා හෝ වියලි කලාපයේ ගස් වල ඇති එක්තරා මකුළුවෙකුගේ ඝන දැල තුල කුහරයක් තනා හෝ ඒ තුල බිත්තර දෙකක් දමා අභිජනනය කරයි. 


English Post >>

Tuesday, March 29, 2022

කොළ පා සිලිවටුවා/පොදු පලාපා සිලිබිල්ලා (Tringa nebularia)

 පහත රට වෙරළබඩ ප්‍රදේශ වලට පැමිණෙන සුලභ සංක්‍රමණික පක්ෂියෙකි කොළ පා සිලිවටුවා නැතහොත් පොදු පලාපා සිලිබිල්ලා. වියලි කලාපයේ කලපු, වැව්, ලේවායන් සහ ගං මෝය අසල වඩාත් සුලභ ලෙසින් හමුවන අතර පහත රට තෙත් කලාපයේ ස්ථානීය වශයෙන් දුර්ලභව දැකිය හැක. බොහෝවිට තනි පක්ෂින් ලෙසින්ද, ඇතැම් විට විසිරුණු රංචු ලෙසින්ද  එවන් ස්ථාන වල ඉවුරට ආසන්නව හෝ ඇතැම් අවස්ථා වල තරමක් ගැඹුරු ජලයේ පවා බැස මඩේ සිටින කකුළුවන්, පණුවන්, කෘමීන් සහ බෙල්ලන් ආදිය ගොදුරු කරගන්නා  ආකාරය නිරීක්ෂණය කල හැක. මෙම පක්ෂියා යුරෝපයේ උතුරු කොටසේ මෙන්ම උතුරු සහ මධ්‍යම ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.

English Post >>

Monday, March 28, 2022

මල් කොට්ටෝරුවා/රත්ළය කොට්ටෝරුවා (Megalaima haemacephala)

පහත රට වියලි කලාපයේ සහ යාබද කඳුකරයේ මධ්‍යම කොටස දක්වා වනාන්තර සහ ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. කලාතුරකින් තෙත් කලාපයේ ඇතැම් ස්ථාන වලින්ද වාර්තා වී ඇති අතර මහනුවර සහ අවිස්සාවෙල්ල වැනි ප්‍රදේශ වල නිත්‍ය ලෙස වාසය කරන ගහණද නිරීක්ෂණය කර ඇත. තනිව හෝ ජෝඩු වශයෙන් මෙන්ම ඇතැම් විට කුඩා රංචු ලෙසින්ද හැසිරෙන මල් කොට්ටෝරුවා ප්‍රධාන වශයෙන් කුඩා ගෙඩි වර්ග ආහාරයට ගන්නා අතර ඇතැම්විට සලබයන් සහ මෙරු වැනි කෘමින්ද ගොදුරු කරගනී.  වසරේ නොවැම්බර් සිට මැයි දක්වා සහ නැවත ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක දිරච්ච අත්තක කුහරයක් හාරා එහි බිත්තර 2 ක් හෝ 3 ක් හෝ දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Sunday, March 27, 2022

රන් ඔලෙයියා/සෙත්කර රන් මහ ඔලෙවියා (Pluvialis fulva)

පහත රට කලපු, වැව් වැනි විශාල ජලාශ අසල පිහිටි තෘණ භූමි, වගුරු බිම් සහ මඩ වගුරු වල මෙන්ම ගොයම් කපා අවසාන වූ වියලි කුඹුරු වලද හමුවන සුලභ සංචාරක පක්ෂියෙකි. වියලි කලාපයේ වඩාත් සුලභව හමුවේ.  කුඩා හෝ විශාල විසිරුණු රංචු වශයෙන් දැකිය හැකි මෙම පක්ෂියා පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමීන් මෙන්ම පණුවන් සහ කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන්ද ආහාරයට ගනී. කුඩා දුරවල් දුවමින් එකවර නතර වෙමින් එවන් සතුන් අහුලාගන්නා රන් ඔලෙයියා උතුරු සයිබීරියාවේ සහ ඇලැස්කාවේ අභිජනනය කරයි.  

English Post >>

Saturday, March 26, 2022

කුඩා වැලි ඔලෙයියා/හීන් වැලි ඔලෙවියා (Charadrius mongolus)

ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ වෙරළට ආසන්න ලේවායන්, කලපු, මඩ වගුරු වැනි විවිධ තෙත් බිම් සහ තෙත් තෘණ භූමි වල සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද ඇතැම් සුදුසු පරිසර පද්ධති වල ඇතැම් විට දැකිය හැක. කුඩා හෝ විශාල රංචු වශයෙන්  එවන් පරිසර වල කුඩා පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමින් සහ කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන් ආහාරයට ගනී.කුඩා වැලි ඔලෙයියා මධ්‍යම ආසියනු ප්‍රදේශ වල අභිජනනය කරයි. 

English Post >> 

Thursday, March 24, 2022

දෑකැති සිලිවටුවා/කලිති හින්නා (Calidris ferruginea)


වියලි කලාපයේ කලපු, ලේවායන්, ගං මෝය සහ වෙරලට ආසන්න මඩ වගුරු සහ වගුරු බිම් වල ඉතාමත් සුලභ සංචාරක පක්ෂියෙකි. කලාතුරකින් තෙත් කලාපයේද එවන් පරිසරයන්හි හමුවේ. විශාල හෝ කුඩා රංචු වශයෙන්, ඇතැම්විට වෙනත් එවැනි වෙරලබඩ පරිසර පද්ධති වල හමුවන ජලජ පක්ෂීන්ද සමග විශේෂයෙන්ම බාදිය සමග ගසාගෙන නොයන පණුවන්, බෙල්ලන් වැනි විවිධ කුඩා ජීවින් කඩිසරව ගොදුරු කරගනිමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක.  නැගෙනහිර ආසියානු ආක්ටික් තුන්ද්‍රා බිම් වල අභිජනනය කරයි.

English Post >>

Wednesday, March 23, 2022

බමුණු පියාකුස්සා/බ්‍රාහ්මණ උකුස්සා (Haliastur indus)

ප්‍රධාන වශයෙන් වෙරළ බඩ ප්‍රදේශ වල සහ පහත රට විශාල වගුරු බිම් වල මෙන්ම වැව් සහ ජලාශ වලද සුලභ දේශීය පක්ෂියෙකි. කලාතුරකින් කඳුකරයේද දැකිය හැක. කටුස්සන්, කුරුළු පැටවුන් සහ ආබාදිත වූ පක්ෂීන්, මාළුන්, කකුළුවන්, ප්‍රමාණයෙන් විශාල කෘමීන් ආදිය ප්‍රධාන වශයෙන් ගොදුරු කරගන්නා බ්‍රාහ්මණ උකුස්සා ඔක්තෝබර් සිට අප්‍රියෙල් දක්වා  කාලයේ කෝටු කැබැලි එකතු කර ගස් මුදුනක තනන කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය කරයි.

English Post >>

Tuesday, March 22, 2022

මහ ගොළුකිරළා/ගල් කිරළා (Esacus recurvirostris)

 පහත රට වියලි කලාපයේ විශාල වැව් අද්දර, කලපු සහ මෝය පරිසරයන්හි හමුවන එතරම් සුලභ නොවන දේශීය පක්ෂියෙකි. දිවා කාලයේ විවෘත ස්ථාන වල විවේකිව ගත කරන අතර හවස් යාමයේ අඳුර වැටෙන විට සහ රාත්‍රියේදී ක්‍රියාශිලී වේ. නිතරම ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙස හමුවන අතර කෘමින්, කකුළුවන්, පණුවන් සහ බෙල්ලන් වර්ග ආහාරයට ගනී. මහ ගොළුකිරළා ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ ජලයට ආසන්න ස්ථානයක පොලොව මත බිත්තර එකක් හෝ දෙකක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Monday, March 21, 2022

බෝල ඔලෙයියා/කෙන්ටි ඔලෙවියා (Charadrius alexandrinus)

C. a. seebohmi උප විශේෂය පහත රට වියලි කලාපයේ සුලභ දේශීය පක්ෂියෙකු වන අතර  C. a. curonicus උප  විශේෂයේ සංක්‍රමණික පක්ෂීන් සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල හමුවන කාල සීමාවේදී පහත රට වියලි හා තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අයුරින් හමුවේ.  කලපු, විශාල වැව්, මඩ වගුරු, වගුරු බිම් සහ වෙරළ ආසන්නයේ ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් බොහෝවිට වෙනත් එවන් පරිසර වල හමුවන කරදිය ආශ්‍රිත පක්ෂීන් (Waders/Shorebirds) සමග දැක ගත හැක. ඉතාම ක්‍රියාශීලී ලෙසින් එහෙ මෙහෙ දුවමින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන කෘමින් අහුලා ගනිමින් හැසිරෙන මෙම ඔලෙවියාගේ අභිජනන සමය වසරේ මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සිදුවේ. වතුරට ආසන්න ස්ථානයක නොඋස් තණකොල අතර කුඩා වලක (ඉහල දකුණු පස රූපය) බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Sunday, March 20, 2022

කැටපෙරලන්නා/රත් ගල්පෙරලියා (Arenaria interpres)

 වසරේ සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල දැකිය හැකි මාසයන්හි වියලි කලාපයේ වෙරලබඩ මඩ වගුරු, කලපු සහ ගං මෝය ආදියෙහි, විශේෂයෙන් ගල්පර සහ බොරළු සහිත පරිසරයන්හි සුලභ සංක්‍රමණික පක්ෂියෙකි. තෙත් කලාපයේද ඇතැම්විට කලාතුරකින් ගැලපෙන පරිසර පද්ධති වල නිරීක්ෂණය කර ඇත.  නිතර තනි පක්ෂීන් ලෙස ගොදුරු සොයන මුත් ඇතැම් විට කුඩා විසිරුණු රංචු ලෙසින්ද හමුවේ.  මුහුදු පාසි, කුඩා ගල් කැබැලි සහ සිප්පි කටු ආදිය හරවමින් ඒවා යට සැඟව සිටින කුඩා සතුන් අල්ලා කන හෙයින් ඉංග්‍රිසි භාෂාවෙන් Ruddy Turnstone යන නම මේ පක්ෂියාට යොදා ඇත. සිංහල නම්ද ඒ අනුසාරයෙන් නිර්මාණය කර තිබේ.  

English Post >>

Saturday, March 19, 2022

Streaked Weaver/Striated Weaver/පන් වඩුකුරුල්ලා (Ploceus manyar flaviceps)

Locally common breeding resident inhabiting tall reedbeds in marshes and tank edges in the dry lowlands, mainly in coastal areas.  Occasionally also visits similar habitats in the wet lowlands. It lives as flocks and feeds on seeds and insects in paddy fields and marshes. Streaked Weaver breeds from February to October by laying two to four eggs in globular nests with much shorter entrance than Baya Weaver's nest, woven with reeds in scattered colonies.  

සිංහලෙන් කියවන්න >>

Friday, March 18, 2022

වන සිලිබිල්ලා/වන සිලිවටුවා (Tringa glareola)

 සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල හමුවන මාස වල පහත රට වියලි කලාපයේ වෙරළ බඩ ප්‍රදේශ, කලපු, වගුරු බිම්, මඩ වගුරු වල මෙන්ම වැව් සහ කුඹුරු වලද සුලභව දැකිය හැකි සංක්‍රමණික පක්ෂියෙකි. කලාතුරකින් කඳුකරයේ සහ පහත රට තෙත් කලාපයෙන්ද වාර්තා වී ඇත. වෙනත් බොහෝ සංක්‍රමණික ජලාශ්‍රිත පක්ෂීන් මෙන් නොව මෙම පක්ෂියා මිරිදිය ජල පද්ධති වලට වැඩි කැමැත්තක් දක්වයි. බොහෝවිට තනිව හැසිරෙන මුත් ඇතැම් විට ලොකු කුඩා රංචු වශයෙන්ද හමුවන වන සිලිබිල්ලා ජලයේ වෙසෙන කුරුමිණියන්, මකුණන් සහ කීටයන් වැනි  කුඩා ජලජ කෘමීන් ආහාරයට ගනී.

English Post >> 

Thursday, March 17, 2022

මල් පිළිහුඩුවා (Alcedo atthis)


දිවයින පුරාම පාහේ මිරිදිය ජලය සහිත පරිසර පද්ධති වල හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඉහල කඳුකර පෙදෙස් වලට යාමේදි කෙමෙන් සුලභතාවයේ අඩුවීමක් සිදුවේ. ජෝඩු වශයෙන් ජීවත් වන මල් පිළිහුඩුවන් ඔවුන් සඳහා ප්‍රදේශයක් වෙන් කර ගන්නා අතර එම ප්‍රදේශයට වෙනත් මල් පිළිහුඩුවන්ට පැමිණීමට ඉඩ නොදේ.  වෙනත් පිළිහුඩු විශේෂ මෙන්ම මල් පිළිහුඩුවාද ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන් ආහාරයට ගනී. වසරේ පෙබරවාරි සිට ජූනි දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන අතර, දිය පහරක හෝ  වැවක ඉවුරේ නැතහොත් ඇතැම් විට මිනිසුන් විසින් කනින ලද ලිඳක කණ්ඩියක හාරන ලද බෙනයක බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමයි.

 English Post >>

Wednesday, March 16, 2022

ශ්‍රී ලංකා වනසැරටිත්තා/කැළෑ ඇස්පටියා ((Tephrodornis affinis))

ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ සහ ස්ථානීය වශයෙන් ඇතැම් පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස මට්ටම් ප්‍රදේශ දක්වා හමුවන මෙරටට ආවේනික සුලභ පක්ෂියෙකි. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් වනාන්තර, අතරින් පතර උස ගස් සහිත ලඳු කැලෑ වල මෙන්ම හොඳින් ගහකොළ සහිත ගෙවතු වලද දැකිය හැක. උඩු වියනේ සැරිසරන කෘමින් ශ්‍රී ලංකා වනසැරටිත්තාගේ ප්‍රධාන ආහාරය වේ.  පෙබරවාරි සිට ජූනි දක්වා කාලයේ ගහක අත්තක් හෝ දෙබලක් මත නොගැඹුරු කූඩුවක් තනා (ඉහත වම පස ඡායාරූපය) එහි බිත්තර දෙකක් හෝ තුනක් පමණ දමා අභිජනනය කරයි.

 English Post >>