Showing posts with label සිංහල ලිපි. Show all posts
Showing posts with label සිංහල ලිපි. Show all posts

Tuesday, August 1, 2023

කොණ්ඩකොහා/ගෝමර කොණ්ඩකොහා (Clamator jacobinus)

පහත රට වියලි කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා විවෘත ලඳු කැලෑ, පන් ගාල් සහ වගුරු පරිසර පද්ධති වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේ දුර්ලභය. තනිව, ජෝඩු වශයෙන් හෝ ඇතැම්විට කුඩා රංචු වශයෙන් දිවි ගෙවන ගෝමර කොණ්ඩකොහා පලගැටියන්, කුරුමිණියන් සහ දලඹුවන් වැනි කෘමීන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. කෝකිලයන් අයත් වන පවුලේ වෙනත් බොහෝමයක් පක්ෂීන් මෙන් ගෝමර කොණ්ඩකොහාද වෙනත් පක්ෂීන්ගේ කූඩු වල බිත්තර දමන පරපෝෂිත පක්ෂියෙකි. මූලික වශයෙන් පැහැයෙන් සහ ප්‍රමාණයෙන් එක සමාන බිත්තර දමන දෙමලිච්චන්ගේ කූඩු වල බිත්තර දමන මෙම පක්ෂියා බොහෝවිට වසර පුරාම පාහේ අභිජනනය කරන බව නිරීක්ෂණය කර ඇති මුත් මාර්තු සිට මැයි දක්වා සහ අගෝස්තු සිට නොවැම්බර් දක්වා කාලයේ ඒ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දක්වන බව පෙනේ. ගෝමර කොණ්ඩකොහා අභිජනන සමයේදී ඝෝෂාකාරී ලෙස නාද කරයි.

English Post >>

Tuesday, July 4, 2023

රෙදි දියන්/හිස දුඹුරු දෙමළිච්චා/ශ්‍රි ලංකා බොරග පිරී දෙමළිච්චා (Pellorneum fuscocapillus)

හිස දුඹුරු දෙමළිච්චා පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල ස්ථානිය වශයෙන් තරමක් දුර්ලභ ලෙස හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. වනාන්තර යටි වියනේ වැඩි වශයෙන් කාලය ගත කරන මෙම පක්ෂියා බොහෝවිට ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් කොළ රොඩු අතර කෘමීන් සොයමින් හැසිරේ.  හිස දුඹුරු දෙමළිච්චාගේ නොනැවතී ඇසෙන නාදය රෙදි දියන් ලෙසින් ඇසෙන හෙයින් ගැමියන් අතර රෙදි දියන් ලෙසින් හැඳින්වෙන මෙම පක්ෂියා වසරේ නොවැම්බර් සිට මාර්තු අතර කාලයේ හෝ නැවතත්  සැප්තැම්බර් මාසයේ ඝන වනාන්තරයේ ගසක් හෝ පඳුරක් පාමුල වියලි කොළ වලින් අපිලිවෙලකට තැනූ ගෝලාකාර කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.

English Post  >>

Saturday, July 1, 2023

උස්වටුවා/අළු උස්සවටුවා (Francolinus pondicerianus)

තරමක් සුලභ ලෙස දිවයිනේ වයඹ, උතුර සහ ඊසාන දිග වෙරළ තීරයේ සහ ඒ ආසන්නව රට තුලට වන්නට පිහිටි  වියලි විවෘත ලඳු කැලෑ සහ තැනින් තැන විසිරුණ පඳුරු වලින් සමන්විත තෘණ භූමි වල පමණක් හමුවන දේශීය පක්ෂියෙකි. එසේම එම ප්‍රදේශ වල මුහුදේ පිහිටි ඇතැම් දූපත් වලද දැකිය හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් දිවිගෙවන උස් වටුවා පොළව හාරමින් තෘණ වර්ග සහ වෙනත් එවන් වල් පැලෑටි වල බීජ, ධාන්‍ය වර්ග මෙන්ම කුහුඹුවන්, වේයන්, තණකොලපෙත්තන්, වැනි කෘමි සතුන්ද ආහාරයට ගනී. වැඩි වශයෙන් ඇවිදිමින් සහ දුවමින් එහෙ මෙහෙ යන මෙම පක්ෂියා හදිස්සි තර්ජනයකදී එයින් මිදීමට විනා  බොහෝවිට පියාඹීම සිදු නොකරයි. මැයි සිට අගෝස්තු මාස අතර කාලයේ කුඩා පඳුරක් හෝ තණ පඳුරක් යට පොළව සූරා දමා ඒ වටා තණකොල මුල් අතුරා තනා ගන්නා කූඩුවක බිත්තර හතරේ සිට අට දක්වා ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ.
 
English Post >>

Tuesday, June 27, 2023

පාදිලි මානාවා (Ciconia episcopus)

පාදිලි මානවා පහත රට වියලි කලාපයේ වැව් පිටි, වගුරු බිම්, විවෘත තෘණ භූමි සහ කුඹුරු ආදියේ වාසය කරන දුර්ලභ දේශිය පක්ෂියෙකි. බොහෝවිට ජෝඩු වශයෙන් හමුවන මුත් විශාල ජලාශ සිදීගෙන යන විට විශාල රංචු ලෙසින්ද එම ස්ථාන වල ඒකරාශි වේ. මත්ස්‍යයන්, ගෙම්බන්, බෙල්ලන් මෙන්ම විශාල පලගැටියන් වැනි කෘමීන්ද, ජලජ කෘමි විශේෂද ගොදුරු කර ගන්නා පාදිලි මානාවා පෙබරවාරි සිට මාර්තු අතර කාලයේ වනාන්තරය මධ්‍යයේ උස් ගසක මුදුනේ කෝටු කැබැලි විශාල වශයෙන් එකතු කර කූඩුවක් තනා අභිජනනයේ යෙදේ. වෙනත් කොකුන් සහ මානාවන් මෙන් තෝරාගත් ප්‍රදේශයක අභිජනන කොලනි ආකාරයෙන් එකතු නොවී තනිව කූඩු සෑදිම මෙම පාදිලි මානාවාගේ විශේෂත්වයකි.

 English Post >>

Saturday, June 3, 2023

ගිරා කුරුල්ලා/ජරදන් කොළරීසියා (Chloropsis jerdoni)

පහත රට වියලි කලාපයේ වනාන්තර, විවෘත ගහ කොළන් සහිත ස්ථාන සහ ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ සහ මුහුදු මට්ටමේ සිට මීටර 1100 ක් පමණ උස් මට්ටම් දක්වා කඳුකරයේද හමුවන මුත් එතරම් සුලභ නැත. ජෝඩු වශයෙන් හෝ අභිජනන සමය අවසානයේ පැටවුන් සමග කුඩා රංචු වශයෙන් හමුවන මෙම පක්ෂියා කෘමීන්, පළතුරු සහ මල්පැණි ආදිය ආහාර කරගනී. ඉතා තියුණු නාදයක් නිකුත් කරන අතර බොහෝවිට වෙනත් පක්ෂීන්ගේ නාදද අනුකරණය කරයි. නොවැම්බර් සිට මැයි දක්වා කාලයේ බොහෝවිට ගසක උස් ස්ථානයක පිහිටි මනාව සැඟවුණ අත්තක කරුවක කුඩා එල්ලෙන කූඩුවක් තනා එහි බිත්තර දෙකක් පමණ දමා අභිජනනය කරයි.

English Post >>


Monday, May 29, 2023

බොර ඉසැසි ගෝමර කෑරලා/චූටි කෑරලා ( Picoides nanus)


පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වියලි සහ තෙත් යන කලාප දෙකේම පාහේ වනාන්තර සහ ඒ ආශ්‍රිත හොඳින් ගහ කොළන් සහිත ගෙවතු වල එතරම් සුලභ නොවන ලෙස හමුවන පක්ෂියෙකි. ජෝඩු වශයෙන් ජීවත් වෙමින් ගස් වල පොත්ත තුල ජීවත් වන කුහුඹුවන්, වේයන්, වැනි කෘමීන් ගොදුරු කරගනී. බොහෝවිට ගස් මුදුන් වල ඇති හීනි අතු වල මේ ආකාරයෙන් කෘමින් සොයමින් යන මෙම කෑරලා නිතර සිය සහකරුවා සමග නාද කරමින් සම්බන්ධතාවය පවත්වා ගනී. පෙබරවාරි සිට ජූලි දක්වා කාලයේ දිරා ගිය අත්තක පහල මතුපිට හෝ කොටයක බෙනයක් හාරා එහි බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි. 

English Post >>

Sunday, May 28, 2023

දුම්බොන්නා (Coracias benghalensis)

දුම්බොන්නා පහත රට වියලි කලාපයේ සිට කඳුකරයේ පහල කොටස දක්වා සුලභ දේශිය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද දුර්ලභ ලෙසින් ඇතැම් ස්ථාන වල කලාතුරකින් දැක ගත හැක. පොල් වතු, හේන් වැනි විවෘත ස්ථාන වල තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු වශයෙන් හමුවේ. තෘණ භූමි සහ ලඳු බිම් ගිනි තැබූ විට හෝ විශේෂයෙන්ම හේන් වගාවන් සඳහා වනාන්තර බිම් ගිනි ගන්නා විට එම ගින්නෙන් බේරීම සඳහා පියඹා යන පළගැටියන්, කුරුමිණියන් වැනි පියාඹන කෘමීන් ඩැහැ ගැනීම උදෙසා එම ගිනි ගන්නා ස්ථාන උඩින් පියඹා යෑම නිසා දුම්බොන්නා ලෙසින් සිංහල ගැමියන් අතර මෙම පක්ෂියා හැඳින්වේ. එවන් කෘමීන්ට අමතරව කටුස්සන් හිකනලන් වැනි කුඩා සතුන්ද ආහාරයට ගන්නා දුම්බොන්නා බොහෝවිට මෙම රූපයේ පෙනෙන අයුරින්ම, දුරකථන හෝ විදුලි රැහැන් මත හෝ වැටක කණුවක් වැනි වෙනත් එවැනි උස් ස්ථානයක බොහෝවේලා සිටිමින් පහලට පියඹා ගොස් එවන් සතුන් ගොදුරු කරගනී. ජනවාරි සිට ජූනි දක්වා කාලයේ දිරාගිය ගසක බෙනයක් තුල බිත්තර 2 සිට 4 දක්වා ප්‍රමාණයක් දමා දුම්බොන්නා අභිජනනය කරයි.

English Post >>
 

Sunday, April 9, 2023

පඳුරු හම්බුකුරුල්ලා/බලයිත්ගේ පන් රැවියා (Acrocephalus dumetorum)

දිවයින පුරාම පාහේ ගෙවතු, පන් ගාල්, ගොවි බිම් සහ ලඳු කැලෑ වලට පැමිණෙන සංචාරක පක්ෂියෙකි. වසරේ ඔක්තෝබර්-නොවැම්බර් මාස වලදී මෙරටට පැමිණෙන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් කෘමීන් ආහාර කරගන්නා අතර පඳුරු සහ ගස් අතු අතර සැරිසරමින් කෘමීන් ගොදුරු කරගනී. රාත්‍රී කාලයේදී ඝනව වැවුණු පඳුරක් තුල හෝ වගුරු බිමක ඇති පන් ගාලක නවාතැන් ගන්නා මෙම පක්ෂියා අප්‍රියෙල්- මැයි මාස වලදී නැවත සිය නිජභූමිය වූ නැගෙනහිර යුරෝපය සහ උතුරු ආසියාව කරා ගොස් අභිජනන ක්‍රියාවලියේ නිරත වේ. 

English Post >>


 



Friday, March 31, 2023

හැළ කිඹුලා (Crocodylus palustris)

පහත රට වියලි කලාපයේ වැව්, ගංගා, විල්ලු සහ විශාල ජලාශ වල මෙන්ම ඇතැම් විට ලුණු ලේවා වලද දැකිය හැකි හැළ කිඹුලා මිරිදිය ජලයේ වසන උරගයෙකි. හැළ කිඹුලාගේ පැටවුන් ප්‍රධාන වශයෙන් කෘමීන්, කුඩා මාලුන් සහ ගෙම්බන් ආදිය ආහාරයට ගන්නා අතර වැඩුණු සතුන් මුවන් වැනි විශාල ක්ෂීරපායින්ගේ සිට කුඩා ක්ෂීරපායින්, ජලයේ වසන කුරුල්ලන්, මාළුන්, ඉබ්බන්, සර්පයන් ආදිය ගොදුරු කරගනී. කළාතුරකින් මිනිසුන්ටද හැළ කිඹුලන් පහර දුන් අවස්ථා වාර්තා වී ඇත. ඉඩෝර කාලයේදී වර්ෂා කාලය පැමිණෙන තුරු වනාන්තරයේ ගිම්හානතරණය කරන හැළ කිඹුලන්ගේ මෙරට ගහණය 1200 පමණ වේ යැයි අනුමාන කරයි. 

 English Post >>

Tuesday, March 28, 2023

පැණි කුරුල්ලා/නිතඹ දම් සූටික්කා/මල් සූටික්කා (Nectarinia zeylonica zeylonica)

 පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා ගෙවතු, වනාන්තර සහ වගා බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. උස් කඳුකරයේ දුර්ලභය. ජෝඩු වශයෙන් ජීවත් වන අතර දවස පුරාම පාහේ පැණි බීම උදෙසා මල් වලට පැමිණේ. එයට අමතරව කුඩා කෘමි සතුන්ද ගොදුරු කරගන්නා අතර වසරේ පෙබරවාරි සිට ජූනි දක්වාත් බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් කෙඳි වර්ග, ලයිකන, මකුළු දැල් ආදිය උපයෝගි කරගනිමින් ගසක අත්තක එල්ලෙන කූඩුවක් තනා බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Sunday, March 26, 2023

රෑන ගිරවා/මාල ගිරවා (Pstittacula krameri)

පහත රට ප්‍රදේශ වල සිට කඳුකරය ආරම්භ වන උස මට්ටම දක්වාම ඉතාමත් සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. බොහෝවිට රංචු වශයෙන් ඉතාමත් වේගයෙන් ශබ්ද නගමින් පියාඹන රෑන ගිරවුන් පළතුරු, මල් පොහොට්ටු, ශාක බීජ ආදිය ප්‍රධාන වශයෙන්  අහාරයට ගනී. එසේම වී වගාවට විශාල හානියක් කරමින් පැසුණු වී කරල් කා දමයි. නොවැම්බර් සිට ජූනි දක්වා කාලයේ දිරාගිය ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Tuesday, March 14, 2023

අලු කෑදැත්තා (Ocyceros gingalensis)

වියලි කලාපයේ මෙන්ම තෙත් කලාපයේත් පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල  දැකිය හැකි මෙරටට ආවේනික සුලභ පක්ෂියෙකි අලු කෑදැත්තා. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් ජීවත් වල අලු කෑදැත්තන් ඇතැම් විට විශාල රංචු වශයෙන්ද පළතුරු බහුල ගස් වල නිරීක්ෂණය කල හැක. කුඩා ගෙඩි වර්ග, කටුස්සන්, ගස් ගෙම්බන්, සහ කෘමීන් ආහාර කරගන්නා මෙම පක්ෂියා අප්‍රියෙල් සිට අගෝස්තු දක්වා කාලයේ විශාල ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනය කරයි. 

English Post >>

Saturday, March 11, 2023

පොදු රත්පා සිලිබිල්ලා/පා රතු සිලිවටුවා (Tringa totanus)

සංක්‍රමණික පක්ෂියෙකු වන පොදු රත්පා සිලිබිල්ලා වියලි කලාපයේ වෙරළබඩ ප්‍රදේශ වල නොගැඹුරු මඩ වගුරු, ලේවායන්, කලපු ආදියේ සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන මාස වලදි සුලභව දැකගත හැක. තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අතර කළාතුරකින් රට අභ්‍යන්තරයෙන්ද වාර්තා වේ. කකුළුවන්, මොලුස්කාවන්, පණුවන් වැනි ජලජ සතුන් ගොදුරු කර ගන්නා මෙම පක්ෂියා තනිව හෝ කුඩා රංචු වශයෙන් හැසිරේ. ඇතැම්විට වෙනත් ජලජ පක්ෂීන් සමගද ආහාර සුලභ ස්ථාන වල එක්ව සිටිනු දැකිය හැක. පොදු රත්පා සිලිබිල්ලා මධ්‍යම ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.

English Post >>

Friday, March 10, 2023

රත්තුඩු මුහුදුළිහිණියා/කැස්පියා සාගරළිහිණියා (Sterna caspia)

 දිවයිනේ වියලි කලාපීය උතුරු අර්ධයේ වෙරලබඩ ප්‍රදේශ වලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරලබඩ තෙත් බිම් සහ වැව්  ආදියට සංක්‍රමණය කරන සුලභ මුහුදුළිහිණියෙකි. තෙත් කලාපයේද ඇතැම්විට දැකිය හැක. ආදම්ගේ පාලමේ දූපත් වල අභිජනනය කරන බවටද, අවුරුද්ද පුරාම දැකිය හැකි ගහණයක් මීගමු කලපුවේ සිටිනා බවටද වාර්තා ඇත. තනිව හෝ ජෝඩු වශයෙන් පියාසර කරන මෙම මුහුදුළිහිණියන් බොහෝවිට වෙනත් විශේෂ වල මුහුදුළිහිණින් සමග වැලි පර වල ගිමන් හරින ආකාරය නිරීක්ෂණය කල හැක. 

English Post >>

Thursday, March 9, 2023

කොණ්ඩ ගොමරිට්ටා/පෙරදිගු අහස්රිට්ටා (Alauda gulgula)

 ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ තෘණ භූමි, වියලි කුඹුරු, සහ වෙනත් එවැනි විවෘත ප්‍රදේශ වල ස්ථානීයව සුලභ දේශීය පක්ෂියෙකි. ඇතැම් විට තෙත් කලාපයට තාවකාලිකව සංක්‍රමණය වන අතර කලාතුරකින් කඳුකරයේ අභිජනනය කරයි. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් භූමිය මත දිවිගෙවන අතර කුඩා කොට මත ගල් බැමි ආදිය මත විනා ගස් මත වසා සිටිනු දැකිය නොහැක. කොණ්ඩ ගොමරිට්ටා පළගැටියන් වැනි කුඩා කෘමීන් ගොදුරු කර ගන්නා අතර තෘණ  සහ වෙනත් එවැනි වල් පැලෑටි වල බීජ ආදියද ආහාරයට ගනී. වසරේ මාර්තු සිට ජූලි දක්වා කාලයේ පොළොව මත බොහෝවිට තෘණ පඳුරක් හෝ වෙනත් එවැනි පඳුරක් යට කුඩා වලක තණකොල සහ කෙඳි ජාති උපයෝගි කරගනිමින් තනන කූඩුවක බිත්තර එකත් තුනත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි. 

English Post >>

Wednesday, March 8, 2023

සිළු රුක් තුරිතයා/රුක් තුරිතයා (Hemiprocne coronata)

 පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මීටර 1000 ක පමණ උස මට්ටම් දක්වා තරමක් සුලභව වාසය කරන දේශිය පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ හමුවන මුත් තරමක් දුර්ලභව පහත රට තෙත් කලාපයේ සහ ආසන්න කඳුකර ප්‍රදේශ වලද දැකිය හැක. ගස් සහිත විවෘත භූමි වල ජෝඩු වශයෙන් හෝ ජෝඩු කිහිපයක් ලෙසින් හමුවන රුක් තුරිතයන් ප්‍රධාන වශයෙන් ඉගිලෙන කුඩා කෘමීන් ගොදුරු කර ගනී. වසරේ මාර්තු සිට මැයි දක්වා කාලයේ හෝ ඇතැම් විට ජූලි සිට අගෝස්තු දක්වා කාලයේ ගස් පොතු, පාසි සහ ලයිකන ආදිය එකතු කර කුඩා කෝප්පයක ආකාරයට ගසක අත්තක් මත ඇලවූ කූඩුවක් තනා අභිජනනය කරයි. කූඩුව එක් බිත්තරයකට පමණක් ප්‍රමාණවත් වන අතර ගැහැණු සහ පිරිමි පක්ෂීන් මාරුවෙන් මාරුවට බිත්තර රැකීමේ කාර්යයේ නියැලේ. 

English Post >>

Monday, February 27, 2023

පුල්ලි දත් කැටියා (Oligodon sublineatus)


 වැඩුණු සතුන් සෙන්ටිමීටර 26 සිට 31 පමණ දිග කුඩා, නිර්විෂ, මෙරටට ආවේනික භෞමික සර්පයෙකි පුල්ලි දත් කැටියා. දිවා කාලයේ හැසිරෙන සර්පයෙකු වන අතර හවස් යාමයේ බොහෝවිට ක්‍රියාශීලී වේ. පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල මෙන්ම මිනිස් ජනාවාස ආශ්‍රිතවද  හමුවේ. වියලි කලාපයේ ඇතැම් ස්ථාන වලින්ද වාර්තා වූ බවට වූ පැරණි වාර්තා තිබේ. දිරායන කොළරොඩු, ගල් යට, ගස් කොටන් යට මෙන්ම රොන්මඩ සහිත කාණු වලද සැඟවී සිටී. උරග බිත්තර, කෘමීන්, මකුළුවන් මෙන්ම කුඩා උරගයන්ද ආහාර කර ගන්නා පුල්ලි දත් කැටියා කලබල වූ විට බෝලයක් මෙන් ගුලිවී ඇතැම්විට ශරීරයේ ඉදිරි කොටස තරමක් විශාල කර, හිස පැතලි කර  එය ත්‍රිකෝණාකාර ආකාරය දක්වා පොළොඟුන් අනුකරණය කරයි.

English Post >>

Sunday, February 19, 2023

පිළිලිච්චා/ලාතුඩු පිළිලිච්චා (Dicaeum erythrorhynchos)

 පිළිලිච්චා ඉතාමත් සුලභ ලෙස දිවයින පුරාම පාහේ උස් තුරු මුදුන් වියන් වල සහ ගෙවතු වල දැකිය හැකි මෙරට වෙසෙන කුඩාම පක්ෂියාය. විවිධ පළතුරු වර්ග ආහාරයට ගන්නා පිළිලිච්චාගේ ප්‍රියතම ආහාරය වන්නේ විවිධ විශේෂයන්ට අයත් පිළිල ගෙඩි වන අතර පිළිලිච්චාගේ හොටෙහි ඇලෙන පිළිල බීජ ගස් අතු මත නැවත අලවා පිළිල ශාක විශාල ප්‍රදේශයක් පුරා බෝ කිරීමට මෙම පක්ෂියා මහත් දායකත්වයක් දක්වයි. පළතුරු වලට අමතරව කුඩා කෘමීන් සහ මකුළුවන්ද ආහාරයට ගන්නා පිළිලිච්චා වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ පුළුන් සහ කෙඳි වර්ග ආධාරයෙන් ගසක ඉහල අත්තක් මත විශාල කොළ අතර එල්ලා වැටෙන ආකාරයට මල්ලක් වැනි කූඩුවක් තනා එහි බිත්තර දෙකක් දමා අභිජනනය කරයි.  

English Post >>

Friday, February 3, 2023

කුරුළුගොයා (Accipiter badius badius)


දිවයින පුරාම පාහේ දැකිය හැකි මෙරට තුල අභිජනනය සිදු කරන පක්ෂියෙකු වන කුරුළුගොයා ඝන වනාන්තර නොවන විවෘත භූමි, වගා බිම්, ගෙවතු සහ ඇතැම් අවස්ථා වල නගර වල තුරු සහිත ස්ථාන වලද දැකිය හැක. ප්‍රධාන වශයෙන් කුඩා පක්ෂීන් සහ කටුස්සන්, හිකනලන් වැනි උරගයන් ගොදුරු කර ගන්නා අතර උස ගසක් මත වසා සිටිමින් ගොදුර කරා හඹා ගොස් පාදයේ නිය වලින් ගොදුර ඩැහැ ගනී. වසරේ මාර්තු සිට මැයි දක්වා මාස වල සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරන කුරුළුගොයා උස ගසක් මත කොළ අතු අතර කෝටු කෑලි සහ පරඩැල් උපයෝගී කරගනිමින් කූඩුවක් සාදා බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය සිදු කරයි.
 
English Post >>

Thursday, January 19, 2023

රැවුල් මුහුදුළිහිණියා/අළුපිය කාඟුල්ළිහිණියා (Chlidonias hybrida)

 පහත රට වෙරළට ආසන්න වැව්, කුඹුරු, වගුරු බිම් සහ වෙනත් එවැනි පරිසර වල ඉතාමත් සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. එහෙත් ඇතැම් අවස්ථා වලදී රට අභ්‍යන්තරයේ ඇති ජලාශ ආශ්‍රීත පරිසර වලද හමුවන අතර, කඳුකරයේ පහල ප්‍රදේශ දක්වාම ගමන් කරන බවටද නිරීක්ෂණය කර ඇත. එසේම  සංචාරක පක්ෂීන් මෙරට තුල දැකිය නොහැකි මාස වල පවා ඇතැම් පක්ෂීන් මෙරට තුල රැදී සිටී.  ජලජ කෘමීන්, කුඩා මාළුන්, ඉස්ගෙඩියන් වැනි සතුන් ගොදුරු කරගන්නා මෙම මුහුදුළිහිණියා එවන් ගොදුරු සොයමින් ජලාශ වලට ඉහලින් හොට පහලට යොමුකරගෙන පහල මට්ටමින් පියාසර කරන ආකාරය සුලභ දසුනකි. වෙහෙස වූ විට නියරක් මත, වැටක, විදුලි රැහැන් මත හෝ වෙනත් එවැනි තැනක වසා සිටී. රැවුල් මුහුදුළිහිණියා උතුරු ඉන්දියාවේ සහ කාශ්මීර් වල ඇති වගුරු බිම් වල සමූහ වශයෙන් අභිජනනය කරයි.

English Post >>