Showing posts with label Avifauna. Show all posts
Showing posts with label Avifauna. Show all posts

Thursday, August 10, 2023

මහ කොවුල්සැරටිත්තා/මහ කොවුල්ඇස්පටියා (Coracina macei)

 පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල දැකිය හැකි එතරම් සුලභ නොවන දේශිය පක්ෂියෙකි. තෙත් කලාපයේ දුර්ලභය. ඇතැම්විට ජෝඩු වශයෙන් සහ කුඩා රංචු වශයෙන් සැරිසරන මුත් බොහෝවිට තනි පක්ෂීන් ලෙස හමුවන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් වනාන්තර උඩු වියනේ වෙසෙන කෘමින් ගොදුරු කර ගනී. මැයි සිට ජූනි දක්වා කාලයේ හීනි කෝටු කැබැලි, ශාක පත්‍ර වල නාරටි, ලයිකන ආදිය මකුළු දැල් වලින් එකතු කර තනන නොගැඹුරු කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.

English Post  >>

Wednesday, August 9, 2023

වත නිල් මල්කොහා (Phaenicophaeus viridirostris)

වියලි සහ අතරමැදි කලාපයට අයත් පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා ලඳු කැලෑ, වනාන්තර අද්දර, ද්විතියක වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ගෙවතු වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශිය පක්ෂියෙකි වත නිල් මල්කොහා. ඉතාමත් කුලෑටි පක්ෂියෙකු වන අතර අනතුරක් දුටු විගස තුරු සහ පඳුරු වල ඝන කොළ අතු අතර සැඟවේ. ජෝඩු වශයෙන් හැසිරෙන මෙම පක්ෂියා ගස් සහ පඳුරු වල අතු අතර සැගවී ගමන් කරමින්  පලගැටියන්, වන්දන් වැනි කෘමීන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. බොහෝවිට වසර පුරාම අභිජනනයේ යෙදෙන අතර, කුඩා ගසක මධ්‍යයෙහි කෝටු කෑලි වලින් තනා වටේට කොළ පැහැති කොළ කිහිපයක් යොදා සදන රවුම් පීරිසියක හැඩැති විවෘත කූඩුවක බිත්තර දෙකක් දමා පැටවුන් බිහි කරයි.    

English Post >>

Tuesday, August 8, 2023

විල් කුකුලා/ පොදු ගැලිනුවා (Gallinula chloropus)

 
පහත රට වියලි කලාපයේ වැව්, කුඹුරු, සහ වගුරු බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේ එතරම් සුලභව හමු නොවේ. ජෝඩු වශයෙන් හෝ කුඩා විසිරුණු රංචු වශයෙන් සැරිසරණ මෙම පක්ෂියා වතුරේ සිටින කෘමීන් වැනි කුඩා සතුන් ගොදුරු කරගන්නා අතර විවිධ ශාකමය කොටස්ද ආහාරයට ගනී. මෙම පක්ෂියා ඇතැම් අවස්ථා වල උකුස්සන් වැනි විලෝපිකයන්ගෙන් බේරිම සඳහා වතුරේ කිමීදි, දිය යට තිබෙන පැලෑටි මත රැදෙමින් හොට පමණක් ජල මතුපිටෙන් ඉහලට තබාගෙන හුස්ම ගනිමින් සැලකිය යුතු කාලයක් සැගවී සිටින ආකාරය නිරීක්ෂණය කර ඇත. මාර්තු සිට ජූලි දක්වා වූ අභිජනන සමයේදී ජලයේ වැවෙන පඳුරක් මත කූඩුවක් තනා බිත්තර 5 සිට 8 පමණ දක්වා ප්‍රමාණයක් දමා පැටවුන් බිහිකරයි 

English Post >>

Monday, August 7, 2023

සුදු දෑතුඩුවා/හිසකළු දෑකැත්තා (Threskiornis melanocephalus)

පහත රට වියලි කලාපයේ වගුරු, වැව්, කුඹුරු සහ කලපු වල සුලභ දේශීය පක්ෂියෙකි. එහෙත් තෙත් කලාපයේ විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත තෙත් බිම් වල මෙම පක්ෂියාගේ සැලකිය යුතු ගහණයක් වෙසෙන අතර එම පක්ෂීන් දෙහිවල සත්ව උද්‍යානයෙන් ඇතිවූ ගහණයක් බව පැවසේ. ගෙම්බන්, කෘමීන්, කකුළුවන්, පණුවන් වැනි සතුන් ආහාරයට ගන්නා මෙම දෑතුඩුවා අර්ධ වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරි පක්ෂියෙකු වන අතර සිය දිවා ලැගුම් ස්ථාන වල සිට V අකුරේ හැඩයට සෑදුනු රංචු දුර පිහිටි ගොදුරු බිම් කරා පියාඹන ආකාරය හවස කාලයේදී නිරීක්ෂණය කල හැක. වසරේ මුල් මාස වලදී අභිජනනයේ යෙදෙන සුදු දෑතුඩුවා සමූහ වශයෙන් වෙනත් කොකුන් විශේෂ සමග ජලයෙන් වටවූ තුරු මත කෝටු කෑලි එකතු කර කූඩුවක් තනා බිත්තර තුනක් පමණ දමා පැටවුන් බිහි කරයි.
 
English Post >>

Tuesday, August 1, 2023

කොණ්ඩකොහා/ගෝමර කොණ්ඩකොහා (Clamator jacobinus)

පහත රට වියලි කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා විවෘත ලඳු කැලෑ, පන් ගාල් සහ වගුරු පරිසර පද්ධති වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේ දුර්ලභය. තනිව, ජෝඩු වශයෙන් හෝ ඇතැම්විට කුඩා රංචු වශයෙන් දිවි ගෙවන ගෝමර කොණ්ඩකොහා පලගැටියන්, කුරුමිණියන් සහ දලඹුවන් වැනි කෘමීන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. කෝකිලයන් අයත් වන පවුලේ වෙනත් බොහෝමයක් පක්ෂීන් මෙන් ගෝමර කොණ්ඩකොහාද වෙනත් පක්ෂීන්ගේ කූඩු වල බිත්තර දමන පරපෝෂිත පක්ෂියෙකි. මූලික වශයෙන් පැහැයෙන් සහ ප්‍රමාණයෙන් එක සමාන බිත්තර දමන දෙමලිච්චන්ගේ කූඩු වල බිත්තර දමන මෙම පක්ෂියා බොහෝවිට වසර පුරාම පාහේ අභිජනනය කරන බව නිරීක්ෂණය කර ඇති මුත් මාර්තු සිට මැයි දක්වා සහ අගෝස්තු සිට නොවැම්බර් දක්වා කාලයේ ඒ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දක්වන බව පෙනේ. ගෝමර කොණ්ඩකොහා අභිජනන සමයේදී ඝෝෂාකාරී ලෙස නාද කරයි.

English Post >>

Tuesday, July 4, 2023

රෙදි දියන්/හිස දුඹුරු දෙමළිච්චා/ශ්‍රි ලංකා බොරග පිරී දෙමළිච්චා (Pellorneum fuscocapillus)

හිස දුඹුරු දෙමළිච්චා පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල ස්ථානිය වශයෙන් තරමක් දුර්ලභ ලෙස හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. වනාන්තර යටි වියනේ වැඩි වශයෙන් කාලය ගත කරන මෙම පක්ෂියා බොහෝවිට ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් කොළ රොඩු අතර කෘමීන් සොයමින් හැසිරේ.  හිස දුඹුරු දෙමළිච්චාගේ නොනැවතී ඇසෙන නාදය රෙදි දියන් ලෙසින් ඇසෙන හෙයින් ගැමියන් අතර රෙදි දියන් ලෙසින් හැඳින්වෙන මෙම පක්ෂියා වසරේ නොවැම්බර් සිට මාර්තු අතර කාලයේ හෝ නැවතත්  සැප්තැම්බර් මාසයේ ඝන වනාන්තරයේ ගසක් හෝ පඳුරක් පාමුල වියලි කොළ වලින් අපිලිවෙලකට තැනූ ගෝලාකාර කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.

English Post  >>

Saturday, July 1, 2023

උස්වටුවා/අළු උස්සවටුවා (Francolinus pondicerianus)

තරමක් සුලභ ලෙස දිවයිනේ වයඹ, උතුර සහ ඊසාන දිග වෙරළ තීරයේ සහ ඒ ආසන්නව රට තුලට වන්නට පිහිටි  වියලි විවෘත ලඳු කැලෑ සහ තැනින් තැන විසිරුණ පඳුරු වලින් සමන්විත තෘණ භූමි වල පමණක් හමුවන දේශීය පක්ෂියෙකි. එසේම එම ප්‍රදේශ වල මුහුදේ පිහිටි ඇතැම් දූපත් වලද දැකිය හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් දිවිගෙවන උස් වටුවා පොළව හාරමින් තෘණ වර්ග සහ වෙනත් එවන් වල් පැලෑටි වල බීජ, ධාන්‍ය වර්ග මෙන්ම කුහුඹුවන්, වේයන්, තණකොලපෙත්තන්, වැනි කෘමි සතුන්ද ආහාරයට ගනී. වැඩි වශයෙන් ඇවිදිමින් සහ දුවමින් එහෙ මෙහෙ යන මෙම පක්ෂියා හදිස්සි තර්ජනයකදී එයින් මිදීමට විනා  බොහෝවිට පියාඹීම සිදු නොකරයි. මැයි සිට අගෝස්තු මාස අතර කාලයේ කුඩා පඳුරක් හෝ තණ පඳුරක් යට පොළව සූරා දමා ඒ වටා තණකොල මුල් අතුරා තනා ගන්නා කූඩුවක බිත්තර හතරේ සිට අට දක්වා ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ.
 
English Post >>

Tuesday, June 27, 2023

පාදිලි මානාවා (Ciconia episcopus)

පාදිලි මානවා පහත රට වියලි කලාපයේ වැව් පිටි, වගුරු බිම්, විවෘත තෘණ භූමි සහ කුඹුරු ආදියේ වාසය කරන දුර්ලභ දේශිය පක්ෂියෙකි. බොහෝවිට ජෝඩු වශයෙන් හමුවන මුත් විශාල ජලාශ සිදීගෙන යන විට විශාල රංචු ලෙසින්ද එම ස්ථාන වල ඒකරාශි වේ. මත්ස්‍යයන්, ගෙම්බන්, බෙල්ලන් මෙන්ම විශාල පලගැටියන් වැනි කෘමීන්ද, ජලජ කෘමි විශේෂද ගොදුරු කර ගන්නා පාදිලි මානාවා පෙබරවාරි සිට මාර්තු අතර කාලයේ වනාන්තරය මධ්‍යයේ උස් ගසක මුදුනේ කෝටු කැබැලි විශාල වශයෙන් එකතු කර කූඩුවක් තනා අභිජනනයේ යෙදේ. වෙනත් කොකුන් සහ මානාවන් මෙන් තෝරාගත් ප්‍රදේශයක අභිජනන කොලනි ආකාරයෙන් එකතු නොවී තනිව කූඩු සෑදිම මෙම පාදිලි මානාවාගේ විශේෂත්වයකි.

 English Post >>

Saturday, June 17, 2023

කෑරලා (Dinopium psarodes)

දිවයිනේ උතුරු ප්‍රදේශයේ හැර අනෙකුත් පහත රට සහ කඳුකර ප්‍රදේශ වල වනාන්තර, වගා බිම් සහ ගෙවතු වල සුලභ ලෙස හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු වශයෙන් දිවි ගෙවන මෙම කෑරලා ගස් පොතු තුල සිටින කුහුඹුවන් වැනි කුඩා කෘමීන් ආහාරයට ගනී. කලාතුරකින් භූමිය මතද වසා එවැනි කෘමින් ගොදුරු කරගන්නා ආකාරය දැකිය හැක. මාර්තු සිට ජූනි දක්වා සහ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක අත්තක් හෝ කඳ තුලට හෑරු බෙනයක බිත්තර දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Monday, June 12, 2023

Grey Francolin/Indian Grey Partridge/උස්වටුවා/අළු උස්සවටුවා (Francolinus pondicerianus)

Rather common breeding resident confined to the dry open scrublands and pastures with scattered bushes of the coastal and near by lowland areas from north western to north and north eastern part of the country, together with the adjacent islands. It lives as pairs or as small coveys and feeds on grass and weed-seeds, grains, ants, termites, grasshoppers and such other insects by scratching the ground. Grey  Francolin is a great runner and a walker, seldom flying except to escape from an enemy when suddenly startled. The breeding season lasts from May to August. The nest is a scrape in the ground under small bush or tussock, lined with grass roots, where it lays four to eight eggs. 

සිංහලෙන් කියවන්න >> 

Saturday, June 3, 2023

ගිරා කුරුල්ලා/ජරදන් කොළරීසියා (Chloropsis jerdoni)

පහත රට වියලි කලාපයේ වනාන්තර, විවෘත ගහ කොළන් සහිත ස්ථාන සහ ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ සහ මුහුදු මට්ටමේ සිට මීටර 1100 ක් පමණ උස් මට්ටම් දක්වා කඳුකරයේද හමුවන මුත් එතරම් සුලභ නැත. ජෝඩු වශයෙන් හෝ අභිජනන සමය අවසානයේ පැටවුන් සමග කුඩා රංචු වශයෙන් හමුවන මෙම පක්ෂියා කෘමීන්, පළතුරු සහ මල්පැණි ආදිය ආහාර කරගනී. ඉතා තියුණු නාදයක් නිකුත් කරන අතර බොහෝවිට වෙනත් පක්ෂීන්ගේ නාදද අනුකරණය කරයි. නොවැම්බර් සිට මැයි දක්වා කාලයේ බොහෝවිට ගසක උස් ස්ථානයක පිහිටි මනාව සැඟවුණ අත්තක කරුවක කුඩා එල්ලෙන කූඩුවක් තනා එහි බිත්තර දෙකක් පමණ දමා අභිජනනය කරයි.

English Post >>


Monday, May 29, 2023

බොර ඉසැසි ගෝමර කෑරලා/චූටි කෑරලා ( Picoides nanus)


පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වියලි සහ තෙත් යන කලාප දෙකේම පාහේ වනාන්තර සහ ඒ ආශ්‍රිත හොඳින් ගහ කොළන් සහිත ගෙවතු වල එතරම් සුලභ නොවන ලෙස හමුවන පක්ෂියෙකි. ජෝඩු වශයෙන් ජීවත් වෙමින් ගස් වල පොත්ත තුල ජීවත් වන කුහුඹුවන්, වේයන්, වැනි කෘමීන් ගොදුරු කරගනී. බොහෝවිට ගස් මුදුන් වල ඇති හීනි අතු වල මේ ආකාරයෙන් කෘමින් සොයමින් යන මෙම කෑරලා නිතර සිය සහකරුවා සමග නාද කරමින් සම්බන්ධතාවය පවත්වා ගනී. පෙබරවාරි සිට ජූලි දක්වා කාලයේ දිරා ගිය අත්තක පහල මතුපිට හෝ කොටයක බෙනයක් හාරා එහි බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි. 

English Post >>

Sunday, May 28, 2023

දුම්බොන්නා (Coracias benghalensis)

දුම්බොන්නා පහත රට වියලි කලාපයේ සිට කඳුකරයේ පහල කොටස දක්වා සුලභ දේශිය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද දුර්ලභ ලෙසින් ඇතැම් ස්ථාන වල කලාතුරකින් දැක ගත හැක. පොල් වතු, හේන් වැනි විවෘත ස්ථාන වල තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු වශයෙන් හමුවේ. තෘණ භූමි සහ ලඳු බිම් ගිනි තැබූ විට හෝ විශේෂයෙන්ම හේන් වගාවන් සඳහා වනාන්තර බිම් ගිනි ගන්නා විට එම ගින්නෙන් බේරීම සඳහා පියඹා යන පළගැටියන්, කුරුමිණියන් වැනි පියාඹන කෘමීන් ඩැහැ ගැනීම උදෙසා එම ගිනි ගන්නා ස්ථාන උඩින් පියඹා යෑම නිසා දුම්බොන්නා ලෙසින් සිංහල ගැමියන් අතර මෙම පක්ෂියා හැඳින්වේ. එවන් කෘමීන්ට අමතරව කටුස්සන් හිකනලන් වැනි කුඩා සතුන්ද ආහාරයට ගන්නා දුම්බොන්නා බොහෝවිට මෙම රූපයේ පෙනෙන අයුරින්ම, දුරකථන හෝ විදුලි රැහැන් මත හෝ වැටක කණුවක් වැනි වෙනත් එවැනි උස් ස්ථානයක බොහෝවේලා සිටිමින් පහලට පියඹා ගොස් එවන් සතුන් ගොදුරු කරගනී. ජනවාරි සිට ජූනි දක්වා කාලයේ දිරාගිය ගසක බෙනයක් තුල බිත්තර 2 සිට 4 දක්වා ප්‍රමාණයක් දමා දුම්බොන්නා අභිජනනය කරයි.

English Post >>
 

Friday, April 14, 2023

Sri Lanka Green Pigeon/ශ්‍රී ලංකා බටගොයා/පිට දම් බටගොයා (Treron pompadora)


 Rather common endemic bird lives in forests and well wooded cultivations and home gardens from lowlands to lower hills, while local and uncommon up to mid hills. It lives as small or large flocks and sometimes as pairs. Sri Lanka Green Pigeon feeds mainly on fruits and fruiting tree may attracts the birds from miles around. The breeding season is from December to June and and sometimes also from August to September. The nest is a nearly flat platform of small twigs placed in a small bushy tree, where it lays two eggs and both sexes incubate them. 

සිංහලෙන් කියවන්න >>

Sunday, April 9, 2023

පඳුරු හම්බුකුරුල්ලා/බලයිත්ගේ පන් රැවියා (Acrocephalus dumetorum)

දිවයින පුරාම පාහේ ගෙවතු, පන් ගාල්, ගොවි බිම් සහ ලඳු කැලෑ වලට පැමිණෙන සංචාරක පක්ෂියෙකි. වසරේ ඔක්තෝබර්-නොවැම්බර් මාස වලදී මෙරටට පැමිණෙන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් කෘමීන් ආහාර කරගන්නා අතර පඳුරු සහ ගස් අතු අතර සැරිසරමින් කෘමීන් ගොදුරු කරගනී. රාත්‍රී කාලයේදී ඝනව වැවුණු පඳුරක් තුල හෝ වගුරු බිමක ඇති පන් ගාලක නවාතැන් ගන්නා මෙම පක්ෂියා අප්‍රියෙල්- මැයි මාස වලදී නැවත සිය නිජභූමිය වූ නැගෙනහිර යුරෝපය සහ උතුරු ආසියාව කරා ගොස් අභිජනන ක්‍රියාවලියේ නිරත වේ. 

English Post >>


 



Tuesday, March 28, 2023

පැණි කුරුල්ලා/නිතඹ දම් සූටික්කා/මල් සූටික්කා (Nectarinia zeylonica zeylonica)

 පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා ගෙවතු, වනාන්තර සහ වගා බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. උස් කඳුකරයේ දුර්ලභය. ජෝඩු වශයෙන් ජීවත් වන අතර දවස පුරාම පාහේ පැණි බීම උදෙසා මල් වලට පැමිණේ. එයට අමතරව කුඩා කෘමි සතුන්ද ගොදුරු කරගන්නා අතර වසරේ පෙබරවාරි සිට ජූනි දක්වාත් බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් කෙඳි වර්ග, ලයිකන, මකුළු දැල් ආදිය උපයෝගි කරගනිමින් ගසක අත්තක එල්ලෙන කූඩුවක් තනා බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Sunday, March 26, 2023

රෑන ගිරවා/මාල ගිරවා (Pstittacula krameri)

පහත රට ප්‍රදේශ වල සිට කඳුකරය ආරම්භ වන උස මට්ටම දක්වාම ඉතාමත් සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. බොහෝවිට රංචු වශයෙන් ඉතාමත් වේගයෙන් ශබ්ද නගමින් පියාඹන රෑන ගිරවුන් පළතුරු, මල් පොහොට්ටු, ශාක බීජ ආදිය ප්‍රධාන වශයෙන්  අහාරයට ගනී. එසේම වී වගාවට විශාල හානියක් කරමින් පැසුණු වී කරල් කා දමයි. නොවැම්බර් සිට ජූනි දක්වා කාලයේ දිරාගිය ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Tuesday, March 14, 2023

අලු කෑදැත්තා (Ocyceros gingalensis)

වියලි කලාපයේ මෙන්ම තෙත් කලාපයේත් පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල  දැකිය හැකි මෙරටට ආවේනික සුලභ පක්ෂියෙකි අලු කෑදැත්තා. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් ජීවත් වල අලු කෑදැත්තන් ඇතැම් විට විශාල රංචු වශයෙන්ද පළතුරු බහුල ගස් වල නිරීක්ෂණය කල හැක. කුඩා ගෙඩි වර්ග, කටුස්සන්, ගස් ගෙම්බන්, සහ කෘමීන් ආහාර කරගන්නා මෙම පක්ෂියා අප්‍රියෙල් සිට අගෝස්තු දක්වා කාලයේ විශාල ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනය කරයි. 

English Post >>

Saturday, March 11, 2023

පොදු රත්පා සිලිබිල්ලා/පා රතු සිලිවටුවා (Tringa totanus)

සංක්‍රමණික පක්ෂියෙකු වන පොදු රත්පා සිලිබිල්ලා වියලි කලාපයේ වෙරළබඩ ප්‍රදේශ වල නොගැඹුරු මඩ වගුරු, ලේවායන්, කලපු ආදියේ සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන මාස වලදි සුලභව දැකගත හැක. තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අතර කළාතුරකින් රට අභ්‍යන්තරයෙන්ද වාර්තා වේ. කකුළුවන්, මොලුස්කාවන්, පණුවන් වැනි ජලජ සතුන් ගොදුරු කර ගන්නා මෙම පක්ෂියා තනිව හෝ කුඩා රංචු වශයෙන් හැසිරේ. ඇතැම්විට වෙනත් ජලජ පක්ෂීන් සමගද ආහාර සුලභ ස්ථාන වල එක්ව සිටිනු දැකිය හැක. පොදු රත්පා සිලිබිල්ලා මධ්‍යම ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.

English Post >>

Friday, March 10, 2023

රත්තුඩු මුහුදුළිහිණියා/කැස්පියා සාගරළිහිණියා (Sterna caspia)

 දිවයිනේ වියලි කලාපීය උතුරු අර්ධයේ වෙරලබඩ ප්‍රදේශ වලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරලබඩ තෙත් බිම් සහ වැව්  ආදියට සංක්‍රමණය කරන සුලභ මුහුදුළිහිණියෙකි. තෙත් කලාපයේද ඇතැම්විට දැකිය හැක. ආදම්ගේ පාලමේ දූපත් වල අභිජනනය කරන බවටද, අවුරුද්ද පුරාම දැකිය හැකි ගහණයක් මීගමු කලපුවේ සිටිනා බවටද වාර්තා ඇත. තනිව හෝ ජෝඩු වශයෙන් පියාසර කරන මෙම මුහුදුළිහිණියන් බොහෝවිට වෙනත් විශේෂ වල මුහුදුළිහිණින් සමග වැලි පර වල ගිමන් හරින ආකාරය නිරීක්ෂණය කල හැක. 

English Post >>