Sunday, March 31, 2024

වල් ඌරා (Sus Scrofa)


වෙරලබඩ තැනිතලා බිම් වල සිට කඳුකරයේ ඉහල මට්ටම දක්වා දිවයින පුරාම පාහේ, වියලි කලාපීය ලඳු කැලෑ වල සහ තෙත් කලාපීය වනාන්තර වල සැඟවී සිටීම සඳහා ප්‍රමාණවත් තත්වයන් පවතී නම්, හමුවන ක්ෂීරපායී සත්වයෙකි වල් ඌරා. වියලී කලාපීය ජාතික උද්‍යාන වලදී නම් ඇතැම් විට සාමාජිකයින් 30 පමණ හෝ ඊටත් වඩා සිටින රංචු ලෙසින්ද, තෙත් කලාපීය වනාන්තර වලදී ඊට වඩා අඩු සතුන් සංඛ්‍යාවක් සිටින කුඩා රංචු ලෙසින් හෝ තනි තනි සතුන් ලෙසින් දිවි ගෙවන සර්වභක්ෂක සතෙකු වන වල් ඌරා  මැරිච්ච සතුන්ගේ මලකුණු ආහාරයට ගන්නා අතරම, සර්පයන්, පණුවන් වැනි සතුන්ද ගොදුරු   කරගනී. තවද භූමිය මත කූඩු තනන පක්ෂීන්ගේ බිත්තර සහ පැටවුන් මෙන්ම ගස් මතින් පතිත වූ පළතුරු සහ ගස් උදුරා සොයා ගන්නා අල වර්ගද වල් ඌරාගේ ආහාර අතර ප්‍රධාන තැනක් ගනී. රාත්‍රීයේදී ආහාර සොයා යන විට මිනිසාගේ හේන් වගාවන්, කුඹුරු, වෙනත් වගාවන් සහ ගෙවතු වලට විශාල ලෙස හානි කරන සත්වයෙකු ලෙස වල් ඌරා සැලකේ. වර්ෂයක් තුලදී අවම වශයෙන් දෙවතාවක්වත් පැටවුන් බිහි කරන වල් ඌරන් බොහෝවිට විශාල සත්වයන් අතරින් වනාන්තර හෙලි කරන ලද ප්‍රදේශ වලින් අවසානයේ වඳවී යන සත්වයා බව W.W.A. පිලිෆ්ස් සඳහන් කරයි. වල් ඌරු රංචුවක ප්‍රධාන වශයෙන් ඊරියන් සහ ඔවුන්ගේ විවිධ වයස් වල පැටවුන් සිටින අතර වැඩිහිටි පිරිමි සතුන් තනිව හෝ ඔවුන්ගේම කුඩා රංචු වශයෙන් සැරිසරමින් අභිජනන සමයේදී පමණක් ගැහැණු සතුන් සිටින රංචු සමග එක්වේ. අලුයම කාලයේ සහ සවස් යාමයේ ක්‍රියාකාරී වන මෙම සත්වයා උණුසුම් දහවල් කාලයේ සෙවන ඇති තැනක වැතිරී ගිමන් හරී. එසේම රාත්‍රී කාලයේද ආහාර සොයමින් සැරිසරයි. මිනිසා හැරුණ විට පිඹුරන්, කිඹුලන් සහ කොටි වල් ඌරාගේ සතුරන් ලෙස සැලකිය හැකි වන අතර, කොටියා බොහෝවිට අවස්ථාවක් ලදවිට ඌරු පැටවුන් ගොදුරු කර ගනී. එවන් අවස්ථාවලදී ඇතැම් විට වැඩිහිටි ඌරන් සහ කොටියා අතර ඇතිවන දරුණු සටනින් කොටින් මියගිය අවස්ථා පවා වාර්තා වී ඇත. 
 
English Post >>

No comments:

Post a Comment