Tuesday, June 14, 2022

කොරවක්කා (Amaurornis phoenicurus)

පහත රට ප්‍රදේශ වල සිට මුහුදු මට්ටමේ සිට මීටර 1800 ක පමණ උසක් දක්වා කුඹුරු, වගුරු, වැව් සහ කඩොලාන වැනි ඝනව ගස් කොලන් සහිත තෙත් පරිසර වල සුලභ දේශීය පක්ෂියෙකි. කොරවක්කා නිතර ජෝඩු වශයෙන් උදෑසන සහ සවස් කාලයේ වඩාත් සක්‍රීය ලෙසින් පණුවන්, තණකොලපෙත්තන් වැනි කෘමීන් මෙන්ම  වී පැල වල සහ වෙනත් එවැනි වගුරු බිම් වල හමුවන පැලෑටි වල කරටි ආදියද ආහාරයද ආහාරයට ගනිමින් හැසිරේ. වසරේ මාර්තු සිට ඔක්තෝබර් දක්වා කාලයේ පොළොව මට්ටමේ සිට හෝ ජල පෘෂ්ඨයේ සිට අඩි කිහිපයක් උසින් පහත් පඳුරක් මත වල් පැල කොටස් ගොඩ ගසා හදන කූඩුවක බිත්තර දමා අභිජනනය කරයි.

English Post >> 

Sunday, June 5, 2022

බැම සුදු පවන්පෙන්දා/අවාන්-පෙඳ මැසිමාරා (Rhipidura aureola)

 පහත රට වියලි කලාපයේ සුලභ දේශීය පක්ෂියෙකි. ඇතැම් තෙත් කලාපීය ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභව කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වාද හමුවේ. ඉතාමත් ක්‍රියාශීලී මෙම පක්ෂියා නොනැවතී  සිය පෙඳය විහිදුවමින්  නර්තන විලාශයෙන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක. තනිව හෝ ජෝඩු වශයෙන් වනාන්තර, ගස් කොලන් සහිත විවෘත ස්ථාන වල මෙන්ම ගෙවතු වලද දැකිය හැකි බැම සුදු පවන්පෙන්දා ඉගිලෙමින් පියාඹන කෘමීන් ගොදුරු කරගන්නා පක්ෂියෙකි. ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ  කුඩා මුල්, පරඬැල් ආදිය මකුළු දැල් වලින් අලවා අත්තක් මත විවෘත කෝප්පයක හැඩය සහිත කූඩුවක් තනා බිත්තර දෙකක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Friday, June 3, 2022

ළය රන් බටගොයා/ලැම රන් බටගොයා (Treron bicinctus)

 පහත රට වියලි කලාපීය ලඳු කැලෑ සහ වනාන්තර වල සුලභ දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේ පහල කොටසේ දුර්ලභව සහ සීමිත ප්‍රදේශ වල පමණක් හමුවේ. කුඩා රංචු වශයෙන් දිවි ගෙවන මුත් ඇතැම්විට ආහාර සුලභව ඇති ස්ථාන වල මෙම විශේෂයේම හෝ නීල කොබෙයියා, නිල් මහ ගොයා සහ ශ්‍රී ලංකා බටගොයා වැනි වෙනත් පරවි විශේෂ සමග විශාල රංචු වශයෙන්ද එකතු වන අවස්ථා ඇත (උදා: නුග ගස් වල ඵල හටගන්නා අවස්ථා වල). ළය රන් බටගොයා නියතවම තුරු මත වාසය කරන පක්ෂියෙකු වුවත් ජලය පානය කිරීම උදෙසා ගංගා, ඇල දොල වල ඉවුරු අසලට හෝ ජලය රැදුන වෙනත් වලවල් වැනි ස්ථාන වලට විශේෂයෙන්ම උදෑසන හෝ හවස් කාලයේ පැමිණෙන ආකාරය නිරීක්ෂණය කල හැක. දෙසැම්බර් සිට මැයි දක්වා හෝ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරන ළය රන් බටගොයා වනාන්තරයේ ඇති අඩි පාරක් හෝ එවන් වෙනත් විවෘත ස්ථානයක් අසල කුඩා ගසක් මත කෝටු කැබැලි කිහිපයක් තබා තනා ගන්නා කූඩුවක බිත්තර දෙකක් දමා පැටවුන් බිහි කරයි.

English Post >>

Sunday, May 29, 2022

හඳුන් දිවියා (Prionailurus viverrinius)

 හඳුන් දිවියා යනු හොඳින් වැඩුන පිරිමි සතෙකු හීලෑ බල්ලෙකුගේ ප්‍රමාණයට සමාන වන තරමක් විශාල වල් බළලෙකි. සැඟවී සිටීමට යම් තරමක කැලෑවක් මායිම්ව පිහිටි වගුරු බිම්, කඩොලාන, පන් ගාල්, වැව්, ඇල දොල, ගංගා මෙන්ම ඇතැම් විට කුඹුරු ආදී ජලාශ්‍රිත පරිසර වලද දිවි ගෙවන හඳුන් දිවියා දිවයිනේ උතුරු ප්‍රදේශයේ හැර අනෙක් සෑම ප්‍රදේශයකම පාහේ සුදුසු පරිසර පද්ධති වල හමුවේ. ඇතැම් විට ආහාර සුලභව හමුවන සහ වාසය කිරීමට සුදුසු ආරක්ෂිත ස්ථාන සහිත නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වලද හඳුන් දිවියන් හමුවේ. වීශේෂයෙන් කොළඹ ආශ්‍රිත වගුරු බිම් බොහෝමයක සැලකිය යුතු මට්ටමේ හඳුන් දිවි ගහණයක් වාර්තා වී ඇත. සාමාන්‍යයෙන් නිශාචර සත්වයකු වුවත් මිනිසාගෙන් තර්ජන අඩු ප්‍රදේශ වල දිවා කාලයේදි වුවද හඳුන් දිවියන් සැරිසරන ආකාරය නිරීක්ෂණය කර ඇත. ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන් ගොදුරු කරගන්නා මුත් හඳුන් දිවියා සර්පයන්, කකුළුවන්, ගොළුබෙල්ලන්, මීයන්, ගෙම්බන්, උරුලෑවන්, ඌරන්ගේ සහ මුවන්ගේ පැටවුන්, බල්ලන් , බළලුන් මෙන්ම ජලාශ්‍රිත පක්ෂීන් ආදී කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ  බොහෝ සතුන් දඩයම් කරන බවට වාර්තා ඇත. වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදෙන හඳුන් දිවියන් වරකට පැටවුන් දෙකක් හෝ තුනක් බිහි කරයි. බොහෝ විට තනිව වාසය කරන හඳුන් දිවියන් ගොදුරු සොයා යෑම සහ වාසය කිරීම උදෙසා ඔවුන් සඳහාම යම් කිසි ප්‍රදේශයක් වෙන් කර ගනී.

English Post >>

Thursday, May 26, 2022

Fishing Cat/හඳුන් දිවියා (Prionailurus viverrinius)





Fishing cat is a large wild cat (Full-grown male is the size of a domestic dog) inhabiting aquatic habitats bordered by suitable forest cover such as marshlands, mangroves, reedbeds and also tanks, streams, paddy fields and river banks with remnant forest patches. It is widely distributed throughout the country except northern parts of the island. Sometimes it even occurs in urban and suburban areas where food and shelter are readily available. Even the remaining wetlands of Colombo's  outskirts host a good number of fishing cats. It is generally a nocturnal animal though it is not uncommon of fishing cat sightings during the day in undisturbed areas. It feeds largely on fish. But it would hunt any small to medium-sized animal that it can overpower such as snakes, crabs, snails, frogs, rats, civets, young wild boar, dogs, cats and even water birds. Its mating season is in early months of the year and two to three kittens are born. It is usually a solitary animal holding its own territory. 

සිංහලෙන් කියවන්න >>
    

Monday, May 2, 2022

මයිනා/ගොන් කවඩියා (Acridotheres tristis)

මුහුදු මට්ටමේ සිට මීටර 1700 ක පමණ උසක් දක්වා සියලුම දේශගුණික කලාප වල සුලභ දේශීය පක්ෂියෙකි. ගෙවතු, වගා බිම් සහ තණ බිම් ආදියෙහි හමුවන මයිනා ඝන වනාන්තර තුල හමු නොවේ. නිතරම එළ සහ මී ගවයන් සමග දැකිය හැකි අතර ඔවුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් මෙන්ම ගවයන් ගමන් කිරීමේදි ඔවුන්ගේ පාද වලින් බාදා වී පලා යන කෘමින් , විශේෂයෙන් පලගැටියන් ගොදුරු කර ගනී. සිංහල භාෂාවෙන් ගොන් කවඩියා යන නම මෙම පක්ෂියා හැඳින්වීමට මේ නිසා ගැමියන් අතර භාවිතා වේ. මයිනන් එකම ජෝඩුව ජීවිත කාලය තුලම එකට වෙසෙන බව විශ්වාස කරයි. නමුත් ඇතැම් විට අභිජනන කාලයෙන් පිට මාස වලදී පක්ෂීන් සැලකියයුතු තරම් ප්‍රමාණයක් එකතු වී රංචු ලෙසින්ද හැසිරෙන ආකාරය දැකිය හැක. එසේම රාත්‍රි කාලයේදී දහස් ගණන් පක්ෂීන් තෝරාගත් එක් ස්ථානයක ලැගුම් ගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. බොහෝවිට ගස් කිහිපයක් (ඇතැම්විට ජනාකීර්ණ නගර මධ්‍යක) හෝ වගුරු බිමක ඇති පඳුරු කිහිපයක් මේ සඳහා තෝරාගනී. මාර්තු සිට අගෝස්තු හෝ සැප්තැම්බර් දක්වා කාලයේ ගස් බෙනයක කෝටු කැබලි, පිදුරු සහ පිහාටු ආදිය එකතු කර තනන කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි. 

English Post >>

Sunday, May 1, 2022

කහ මැටිකොකා ( Ixobrychus sinensis)


තෙත් කලාපයේ වගුරු බිම් වල සහ ඇලමාර්ග, වැව් සහ ගංගා ඉවුරු වල ඇති පන්ගාල් ආදියෙහි හමුවන සුලභ දේශීය පක්ෂියෙකි. තවද පහත රට වියලි කලාපයේ ඇතැම් ප්‍රදේශ වල මෙන්ම ඇතැම් විට කඳුකරයේද හමුවේ. එසේම සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පැමිණෙන සංචාරක කහ මැටි කොකුන්ද සිටී. ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන්, ගෙම්බන්, කකුළුවන් සහ ඇතැම් ජලජ කෘමීන් ගොදුරු කරගන්නා කහ මැටි කොකා තනි පක්ෂීන් හෝ ජෝඩු වශයෙන් ඉතා සෙමින් ජලයට ආසන්න ගස් කොළන් අතරින් ගමන් කරමින් ආහාර සොයා යන අතර එක තැන බොහෝ වේලා  නොසෙල්වී සිටිමින් එක්වර ගොදුරු ඩැහැ ගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. හවස් කාලයේ සහ රාත්‍රියේ වඩාත් ක්‍රියාශීලී මුත් දිවා කාලයේද ඇතැම් විට ගොදුරු සොයා හැසිරේ. මැයි සිට අගෝස්තු අතර කාලයේ ඝන පන් ගාලක පහලින් මධ්‍යට වන්නට හෝ උස් තෘණ පඳුරක පන් ගස් වලින් නොගැඹුරු වේදිකාවක ආකාරයෙන් යුත් කූඩුවක් තනා එහි බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.

 English Post >>

Saturday, April 30, 2022

කළු මැටිකොකා (Ixobrychus flavicollis)

පහත රට වගුරු බිම්, පන්ගාල්  සහ ජලයට ආසන්නව හොඳින් පඳුරු සහ වැල් වර්ග ඝනව වැඩුන ස්ථාන වල හමුවන දුර්ලභ දේශීය පක්ෂියෙකි. එසේම සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශ වලට සංක්‍රමණය වන සංචාරක කළු මැටිකොකුන්ද සිටී. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාශීලි පක්ෂියෙකු වුවත් ඇතැම් විට දිවා කාලයේ සැඟවි සිටින ජලයට ආසන්න ඝන පඳුරු සහිත ආරක්ෂිත ස්ථානය තුලින් එලියට පැමිණ ඒ ආසන්නයේ මසුන් අල්ලාගන්නා ආකාරයද නිරීක්ෂණය කල හැක. කළු මැටි කොකා ප්‍රධාන වශයෙන් මසුන් ගොදුරු කරගන්නා මුත් ඊට අමතරව ගෙම්බන් සහ කෘමීන්ද ආහාරයට ගනී. මෙරට තුල  අභිජනනය කරන කළු මැටි කොකුන් අවස්ථා කිහිපයකදී අප්‍රේල් මාසයේදී වියලි කලාපයේදී නිරීක්ෂණය කර ඇත. ජලයට ආසන්නව පිහිටි ගසක ජලයට ඉහලින් පිහිටි අත්තක කෝටු කැබැලි යොදාගෙන සාදන කුඩා කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි. 

English Post >>

Saturday, April 23, 2022

නිල් මැසිමාරා/කළු ගෙලැසි රදමාරා (Hypothymis azurea)

පහත රට මෙන්ම මුහුදු මට්ටමේ සිට මීටර 1700 ක පමණ උසක් දක්වා කඳුකරයේද වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත හොඳින් ගහ කොළ සහිත ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේ සහ වියලි කලාපයේ ගංගාබද වනාන්තර වල වඩාත් සුලභය. නිල් මැසිමාරා තනිව හෝ ජෝඩු වශයෙන් වනාන්තර වියනේ ගමන් කරමින් වෙනත් මැසිමාරාවන් මෙන් පියාඹන කෘමීන් ගුවනේදි අල්ලා ගනී. වසරේ මාර්තු සිට මැයි දක්වා කාලයේ පොළොවේ සිට අඩි කිහිපයක් උඩින් හෝ ඇතැම් විට වනාන්තර උඩු වියන දක්වාම ගසක විවිධ උස් මට්ටම් වලින් පිහිටි කුඩා අත්තක වූ දෙබලක කුඩා ගැඹුරු කෝප්පයක හැඩය සහිත කූඩුවක් තනා එහි බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Saturday, April 16, 2022

ශ්‍රී ලංකා වැහිළිහිණියා/බඩ රතු වැහිළිහිණියා (Hirundo hyperythra)


 මෙරටට ආවේනික සුලභ පක්ෂියෙකි. දිවයින පුරාම පාහේ වනාන්තර වල විවෘත ස්ථාන, වගා බිම්, කුඹුරු සහ ලඳු කැලෑ වල දැකිය හැක. බොහෝවිට ජෝඩු වශයෙන් හමුවන අතර ඇතැම් විට කුඩා රංචු ලෙසින්ද හැසිරේ. බොහෝවිට පොළොවට ආසන්නව පියාඹමින් ඉගිලෙන කෘමින් ගුවනේදී ගොදුරු කර ගනී. ගල් ගුහාවක වහලයේ, පාලමක් යට හෝ ඇතැම් විට ගොඩනැගිල්ලක හෝ නිවසක වහලයේ යට මඩ වලින් බෝතලයක හැඩය සහිත කූඩුවක් සාදා අප්‍රියල් සිට ජූලි දක්වා කාලයේ  බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.

English Post >>

Saturday, April 9, 2022

Sri Lanka white-throated Flowerpecker/Legge's Flowerpecker/ශ්‍රි ලංකා පිළිලිච්චා (Dicaeum vincens)

An endemic bird local and uncommon in forests and well wooded areas from southwestern wet lowlands to adjoining mid hills. Rarely occurs also in higher hills. It lives as solitary birds, in pairs or as little family flocks. Sri Lanka white-throated Flowerpecker feeds on nectar as well as varies fruits and wild figs found high up in tall trees. It breeds from January to August and female bird make a nest, a small felted hanging pocket among leaves high in a tree with the entrance at the top and lays two eggs. 

Friday, April 8, 2022

පුංචි දෙමලිච්චා/වතඳුරු පඳුරු දෙමලිච්චා/හිස කළු දෙමලිච්චා (Rhopocichla atriceps)


සියළුම දේශගුණික කලාපවල පාහේ වනාන්තර වල යටි රෝපනයේ කෘමින් ගොදුරු කරගනිමින්  කුඩා රංචු වශයෙන් හැසිරෙන දේශීය පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් පෙබරවාරි සිට මැයි දක්වාත් , ඇතැම්විට නැවතත් ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වාත් අභිජනනයේ යෙදෙන මෙම කුඩා දෙමලිච්චා වියලි කොල කැබලි වලින් ගස් දෙබලක් මත විශාල විවරයක් සහිත ගෝලාකාර කූඩුවක් තනා එහි බිත්තර දෙකක් දමා පැටවුන් බිහි කරයි.

English Post >> 

Sunday, April 3, 2022

පඳුරු ගොමරිට්ටා (Mirafra affinis)

පහත රට වියලි කලාපයේ සුලභ දේශිය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද දුර්ලභ ලෙසින් ඇතැම් ප්‍රදේශ වල හමුවේ. ජෝඩු වශයෙන් කුඹුරු සහ තෘණභූමි වැනි විවෘත බිම් වල හමුවන පඳුරු ගොමරිට්ටා පලගැටියන් වැනි භූමියේ හමුවන කෘමීන් අහාරයට ගනී. වසරේ මාර්තු සිට ජූලි දක්වා කාලයේ උස් තණකොල පදුරක මුල කුඩා වලක් හාර මනාව සැගවුන කූඩුවක් සාදා එහි බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >> 

Saturday, April 2, 2022

අභිකාවා (Anhinga melanogaster)

පහත  රට වියලි කලාපයේ වැව්, කලපු සහ විශාල ගංගා පද්ධති වල දිවිගෙවන එහෙත්  එතරම් සුලභව හමු නොවන දේශිය පක්ෂියෙකි.පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේ දුර්ලභය. ප්‍රධාන වශයෙන් මාලුන් ගොදුරු කරගන්නා අභිකාවා සිය තියුණු හොටින් ජලයේ කිමිදී ඔවුන් ඩැහැ ගනී. නිබදවම වෙනත් දියකාවන් සමග හැසිරෙන මුත් තනිවම සිටින අභිකාවන්ද දුලභ නොවේ. ඉතා හොඳින් කිමිදීමට මෙන්ම වේගයෙන් පියෑඹීමටද මෙම පක්ෂියාට මනා හැකියාවක් ඇත. ජලය මත පිහිනා යෑමේදි සිය හිස සහ ගෙල පමණක් ඉහලට දිස්වන ලෙසින් තබාගෙන යෑම නිසා ඉංග්‍රීසි භාෂාවෙන් Snake Bird ලෙසින්ද හඳුන්වන මෙම පක්ෂියා පියඹා යෑමේදි හිස කෙලින් කර තබා ගනී. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ බොහෝවිට වෙනත් ජලජ පක්ෂීන් සමග කොලනි ලෙසින් ජලයට ආසන්න ගස් මත කූඩු තනා අභිජනනයේ යෙදේ. 

English Post >>
 

Thursday, March 31, 2022

පොඩි ගොමරිට්ටා/කිරුළළු බිම්රිට්ටා (Eremopterix griseus)


පහත රට වියලි කලාපයේ, විශේෂයෙන්ම වෙරලාසන්න ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභ දේශීය පක්ෂියෙකි. කලාතුරකින් තෙත් කලාපයේ සහ කඳුකරයේද නිරීක්ෂණය කර ඇත. ශුෂ්ක විවෘත බිම්, අස්වැන්න නෙලාගැනීමෙන් පසු වියලී ගිය කුඹුරු සහ තෘණභූමි වල ජෝඩු වශයෙන් හෝ අභිජනන කාලයේ නොවේ නම් ලොකු, කුඩා රංචු වශයෙන් ප්‍රධාන වශයෙන් ශාක බීජ වර්ග ආහාරයට ගනිමින් හැසිරේ. එසේම කෘමි වර්ගද ගොදුරු කර ගන්නා අතර පැටවුන් ප්‍රධාන වශයෙන් කෘමින්ගෙන් පෝෂණය කරයි. ප්‍රධාන වශයෙන් භූමිය මත සැරිසරන පොඩි  ගොමරිට්ටා ගස් මත වසා සිටිනු දැකිය නොහැක. මාර්තු සිට ජූලි දක්වා කාලයේ විවෘත භූමිය මත සෑරු කුඩා වලක් වටා තණකොල අතුරා, ඇතැම්විට කුඩා ගල් සහ මැටි ගුලි වලින්ද අලංකාර කර තනන කූඩුවක බිත්තර 2 ක් දමා අභිජනනයේ යෙදේ. 

 English Post >>

Wednesday, March 30, 2022

දම් සූටික්කා (Nectarinia asiatica asiatica)

පහත රට වියලි කලාපයේ සහ ආසන්න කඳුකර පෙදෙස් වල මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර, ලඳු කැලෑ සහ ගෙවතු වල තරමක් සුලභව හමුවන දේශීය පක්ෂියෙකි.  තෙත් කලාපයේ සහ කඳුකරයේද දුර්ලභව ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. දම් සූටික්කා ප්‍රධාන වශයෙන් මල් වල පැණි ආහාරයට ගන්නා මුත් කුඩා කෘමින්ගේ පිලවුන්, මකුළුවන් සහ එවන් වෙනත් කුඩා කෘමි සතුන්ද ගොදුරු කර ගනී. වසරේ පෙබරවාරි සිට මැයි දක්වා මාස වල එල්ලෙන මල්ලක ආකාරයේ කූඩුවක් තනා හෝ වියලි කලාපයේ ගස් වල ඇති එක්තරා මකුළුවෙකුගේ ඝන දැල තුල කුහරයක් තනා හෝ ඒ තුල බිත්තර දෙකක් දමා අභිජනනය කරයි. 


English Post >>

Tuesday, March 29, 2022

කොළ පා සිලිවටුවා/පොදු පලාපා සිලිබිල්ලා (Tringa nebularia)

 පහත රට වෙරළබඩ ප්‍රදේශ වලට පැමිණෙන සුලභ සංක්‍රමණික පක්ෂියෙකි කොළ පා සිලිවටුවා නැතහොත් පොදු පලාපා සිලිබිල්ලා. වියලි කලාපයේ කලපු, වැව්, ලේවායන් සහ ගං මෝය අසල වඩාත් සුලභ ලෙසින් හමුවන අතර පහත රට තෙත් කලාපයේ ස්ථානීය වශයෙන් දුර්ලභව දැකිය හැක. බොහෝවිට තනි පක්ෂින් ලෙසින්ද, ඇතැම් විට විසිරුණු රංචු ලෙසින්ද  එවන් ස්ථාන වල ඉවුරට ආසන්නව හෝ ඇතැම් අවස්ථා වල තරමක් ගැඹුරු ජලයේ පවා බැස මඩේ සිටින කකුළුවන්, පණුවන්, කෘමීන් සහ බෙල්ලන් ආදිය ගොදුරු කරගන්නා  ආකාරය නිරීක්ෂණය කල හැක. මෙම පක්ෂියා යුරෝපයේ උතුරු කොටසේ මෙන්ම උතුරු සහ මධ්‍යම ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.

English Post >>

Monday, March 28, 2022

මල් කොට්ටෝරුවා/රත්ළය කොට්ටෝරුවා (Megalaima haemacephala)

පහත රට වියලි කලාපයේ සහ යාබද කඳුකරයේ මධ්‍යම කොටස දක්වා වනාන්තර සහ ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. කලාතුරකින් තෙත් කලාපයේ ඇතැම් ස්ථාන වලින්ද වාර්තා වී ඇති අතර මහනුවර සහ අවිස්සාවෙල්ල වැනි ප්‍රදේශ වල නිත්‍ය ලෙස වාසය කරන ගහණද නිරීක්ෂණය කර ඇත. තනිව හෝ ජෝඩු වශයෙන් මෙන්ම ඇතැම් විට කුඩා රංචු ලෙසින්ද හැසිරෙන මල් කොට්ටෝරුවා ප්‍රධාන වශයෙන් කුඩා ගෙඩි වර්ග ආහාරයට ගන්නා අතර ඇතැම්විට සලබයන් සහ මෙරු වැනි කෘමින්ද ගොදුරු කරගනී.  වසරේ නොවැම්බර් සිට මැයි දක්වා සහ නැවත ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක දිරච්ච අත්තක කුහරයක් හාරා එහි බිත්තර 2 ක් හෝ 3 ක් හෝ දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Sunday, March 27, 2022

රන් ඔලෙයියා/සෙත්කර රන් මහ ඔලෙවියා (Pluvialis fulva)

පහත රට කලපු, වැව් වැනි විශාල ජලාශ අසල පිහිටි තෘණ භූමි, වගුරු බිම් සහ මඩ වගුරු වල මෙන්ම ගොයම් කපා අවසාන වූ වියලි කුඹුරු වලද හමුවන සුලභ සංචාරක පක්ෂියෙකි. වියලි කලාපයේ වඩාත් සුලභව හමුවේ.  කුඩා හෝ විශාල විසිරුණු රංචු වශයෙන් දැකිය හැකි මෙම පක්ෂියා පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමීන් මෙන්ම පණුවන් සහ කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන්ද ආහාරයට ගනී. කුඩා දුරවල් දුවමින් එකවර නතර වෙමින් එවන් සතුන් අහුලාගන්නා රන් ඔලෙයියා උතුරු සයිබීරියාවේ සහ ඇලැස්කාවේ අභිජනනය කරයි.  

English Post >>

Saturday, March 26, 2022

කුඩා වැලි ඔලෙයියා/හීන් වැලි ඔලෙවියා (Charadrius mongolus)

ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ වෙරළට ආසන්න ලේවායන්, කලපු, මඩ වගුරු වැනි විවිධ තෙත් බිම් සහ තෙත් තෘණ භූමි වල සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද ඇතැම් සුදුසු පරිසර පද්ධති වල ඇතැම් විට දැකිය හැක. කුඩා හෝ විශාල රංචු වශයෙන්  එවන් පරිසර වල කුඩා පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමින් සහ කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන් ආහාරයට ගනී.කුඩා වැලි ඔලෙයියා මධ්‍යම ආසියනු ප්‍රදේශ වල අභිජනනය කරයි. 

English Post >>