Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Monday, July 4, 2022
BIRDS OF THALANGAMA || තලංගම තෙත් බිම
Sunday, June 26, 2022
BIRD WATHCING @ KALAMATIYA || කලමැටිය අභයභූමිය
Tuesday, June 14, 2022
කොරවක්කා (Amaurornis phoenicurus)
පහත රට ප්‍රදේශ වල සිට මුහුදු මට්ටමේ සිට මීටර 1800 ක පමණ උසක් දක්වා කුඹුරු, වගුරු, වැව් සහ කඩොලාන වැනි ඝනව ගස් කොලන් සහිත තෙත් පරිසර වල සුලභ දේශීය පක්ෂියෙකි. කොරවක්කා නිතර ජෝඩු වශයෙන් උදෑසන සහ සවස් කාලයේ වඩාත් සක්‍රීය ලෙසින් පණුවන්, තණකොලපෙත්තන් වැනි කෘමීන් මෙන්ම වී පැල වල සහ වෙනත් එවැනි වගුරු බිම් වල හමුවන පැලෑටි වල කරටි ආදියද ආහාරයද ආහාරයට ගනිමින් හැසිරේ. වසරේ මාර්තු සිට ඔක්තෝබර් දක්වා කාලයේ පොළොව මට්ටමේ සිට හෝ ජල පෘෂ්ඨයේ සිට අඩි කිහිපයක් උසින් පහත් පඳුරක් මත වල් පැල කොටස් ගොඩ ගසා හදන කූඩුවක බිත්තර දමා අභිජනනය කරයි.
English Post >>
Sunday, June 5, 2022
බැම සුදු පවන්පෙන්දා/අවාන්-පෙඳ මැසිමාරා (Rhipidura aureola)
පහත රට වියලි කලාපයේ සුලභ දේශීය පක්ෂියෙකි. ඇතැම් තෙත් කලාපීය ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් සුලභව කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වාද හමුවේ. ඉතාමත් ක්‍රියාශීලී මෙම පක්ෂියා නොනැවතී සිය පෙඳය විහිදුවමින් නර්තන විලාශයෙන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක. තනිව හෝ ජෝඩු වශයෙන් වනාන්තර, ගස් කොලන් සහිත විවෘත ස්ථාන වල මෙන්ම ගෙවතු වලද දැකිය හැකි බැම සුදු පවන්පෙන්දා ඉගිලෙමින් පියාඹන කෘමීන් ගොදුරු කරගන්නා පක්ෂියෙකි. ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ කුඩා මුල්, පරඬැල් ආදිය මකුළු දැල් වලින් අලවා අත්තක් මත විවෘත කෝප්පයක හැඩය සහිත කූඩුවක් තනා බිත්තර දෙකක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Friday, June 3, 2022
ළය රන් බටගොයා/ලැම රන් බටගොයා (Treron bicinctus)
පහත රට වියලි කලාපීය ලඳු කැලෑ සහ වනාන්තර වල සුලභ දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේ පහල කොටසේ දුර්ලභව සහ සීමිත ප්‍රදේශ වල පමණක් හමුවේ. කුඩා රංචු වශයෙන් දිවි ගෙවන මුත් ඇතැම්විට ආහාර සුලභව ඇති ස්ථාන වල මෙම විශේෂයේම හෝ නීල කොබෙයියා, නිල් මහ ගොයා සහ ශ්‍රී ලංකා බටගොයා වැනි වෙනත් පරවි විශේෂ සමග විශාල රංචු වශයෙන්ද එකතු වන අවස්ථා ඇත (උදා: නුග ගස් වල ඵල හටගන්නා අවස්ථා වල). ළය රන් බටගොයා නියතවම තුරු මත වාසය කරන පක්ෂියෙකු වුවත් ජලය පානය කිරීම උදෙසා ගංගා, ඇල දොල වල ඉවුරු අසලට හෝ ජලය රැදුන වෙනත් වලවල් වැනි ස්ථාන වලට විශේෂයෙන්ම උදෑසන හෝ හවස් කාලයේ පැමිණෙන ආකාරය නිරීක්ෂණය කල හැක. දෙසැම්බර් සිට මැයි දක්වා හෝ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරන ළය රන් බටගොයා වනාන්තරයේ ඇති අඩි පාරක් හෝ එවන් වෙනත් විවෘත ස්ථානයක් අසල කුඩා ගසක් මත කෝටු කැබැලි කිහිපයක් තබා තනා ගන්නා කූඩුවක බිත්තර දෙකක් දමා පැටවුන් බිහි කරයි.
English Post >>
Sunday, May 29, 2022
හඳුන් දිවියා (Prionailurus viverrinius)
හඳුන් දිවියා යනු හොඳින් වැඩුන පිරිමි සතෙකු හීලෑ බල්ලෙකුගේ ප්‍රමාණයට සමාන වන තරමක් විශාල වල් බළලෙකි. සැඟවී සිටීමට යම් තරමක කැලෑවක් මායිම්ව පිහිටි වගුරු බිම්, කඩොලාන, පන් ගාල්, වැව්, ඇල දොල, ගංගා මෙන්ම ඇතැම් විට කුඹුරු ආදී ජලාශ්‍රිත පරිසර වලද දිවි ගෙවන හඳුන් දිවියා දිවයිනේ උතුරු ප්‍රදේශයේ හැර අනෙක් සෑම ප්‍රදේශයකම පාහේ සුදුසු පරිසර පද්ධති වල හමුවේ. ඇතැම් විට ආහාර සුලභව හමුවන සහ වාසය කිරීමට සුදුසු ආරක්ෂිත ස්ථාන සහිත නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වලද හඳුන් දිවියන් හමුවේ. වීශේෂයෙන් කොළඹ ආශ්‍රිත වගුරු බිම් බොහෝමයක සැලකිය යුතු මට්ටමේ හඳුන් දිවි ගහණයක් වාර්තා වී ඇත. සාමාන්‍යයෙන් නිශාචර සත්වයකු වුවත් මිනිසාගෙන් තර්ජන අඩු ප්‍රදේශ වල දිවා කාලයේදි වුවද හඳුන් දිවියන් සැරිසරන ආකාරය නිරීක්ෂණය කර ඇත. ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන් ගොදුරු කරගන්නා මුත් හඳුන් දිවියා සර්පයන්, කකුළුවන්, ගොළුබෙල්ලන්, මීයන්, ගෙම්බන්, උරුලෑවන්, ඌරන්ගේ සහ මුවන්ගේ පැටවුන්, බල්ලන් , බළලුන් මෙන්ම ජලාශ්‍රිත පක්ෂීන් ආදී කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ බොහෝ සතුන් දඩයම් කරන බවට වාර්තා ඇත. වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදෙන හඳුන් දිවියන් වරකට පැටවුන් දෙකක් හෝ තුනක් බිහි කරයි. බොහෝ විට තනිව වාසය කරන හඳුන් දිවියන් ගොදුරු සොයා යෑම සහ වාසය කිරීම උදෙසා ඔවුන් සඳහාම යම් කිසි ප්‍රදේශයක් වෙන් කර ගනී.
English Post >>
Thursday, May 26, 2022
Fishing Cat/හඳුන් දිවියා (Prionailurus viverrinius)
Monday, May 2, 2022
මයිනා/ගොන් කවඩියා (Acridotheres tristis)
මුහුදු මට්ටමේ සිට මීටර 1700 ක පමණ උසක් දක්වා සියලුම දේශගුණික කලාප වල සුලභ දේශීය පක්ෂියෙකි. ගෙවතු, වගා බිම් සහ තණ බිම් ආදියෙහි හමුවන මයිනා ඝන වනාන්තර තුල හමු නොවේ. නිතරම එළ සහ මී ගවයන් සමග දැකිය හැකි අතර ඔවුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් මෙන්ම ගවයන් ගමන් කිරීමේදි ඔවුන්ගේ පාද වලින් බාදා වී පලා යන කෘමින් , විශේෂයෙන් පලගැටියන් ගොදුරු කර ගනී. සිංහල භාෂාවෙන් ගොන් කවඩියා යන නම මෙම පක්ෂියා හැඳින්වීමට මේ නිසා ගැමියන් අතර භාවිතා වේ. මයිනන් එකම ජෝඩුව ජීවිත කාලය තුලම එකට වෙසෙන බව විශ්වාස කරයි. නමුත් ඇතැම් විට අභිජනන කාලයෙන් පිට මාස වලදී පක්ෂීන් සැලකියයුතු තරම් ප්‍රමාණයක් එකතු වී රංචු ලෙසින්ද හැසිරෙන ආකාරය දැකිය හැක. එසේම රාත්‍රි කාලයේදී දහස් ගණන් පක්ෂීන් තෝරාගත් එක් ස්ථානයක ලැගුම් ගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. බොහෝවිට ගස් කිහිපයක් (ඇතැම්විට ජනාකීර්ණ නගර මධ්‍යක) හෝ වගුරු බිමක ඇති පඳුරු කිහිපයක් මේ සඳහා තෝරාගනී. මාර්තු සිට අගෝස්තු හෝ සැප්තැම්බර් දක්වා කාලයේ ගස් බෙනයක කෝටු කැබලි, පිදුරු සහ පිහාටු ආදිය එකතු කර තනන කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි.
English Post >>
Sunday, May 1, 2022
කහ මැටිකොකා ( Ixobrychus sinensis)
තෙත් කලාපයේ වගුරු බිම් වල සහ ඇලමාර්ග, වැව් සහ ගංගා ඉවුරු වල ඇති පන්ගාල් ආදියෙහි හමුවන සුලභ දේශීය පක්ෂියෙකි. තවද පහත රට වියලි කලාපයේ ඇතැම් ප්‍රදේශ වල මෙන්ම ඇතැම් විට කඳුකරයේද හමුවේ. එසේම සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පැමිණෙන සංචාරක කහ මැටි කොකුන්ද සිටී. ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන්, ගෙම්බන්, කකුළුවන් සහ ඇතැම් ජලජ කෘමීන් ගොදුරු කරගන්නා කහ මැටි කොකා තනි පක්ෂීන් හෝ ජෝඩු වශයෙන් ඉතා සෙමින් ජලයට ආසන්න ගස් කොළන් අතරින් ගමන් කරමින් ආහාර සොයා යන අතර එක තැන බොහෝ වේලා නොසෙල්වී සිටිමින් එක්වර ගොදුරු ඩැහැ ගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. හවස් කාලයේ සහ රාත්‍රියේ වඩාත් ක්‍රියාශීලී මුත් දිවා කාලයේද ඇතැම් විට ගොදුරු සොයා හැසිරේ. මැයි සිට අගෝස්තු අතර කාලයේ ඝන පන් ගාලක පහලින් මධ්‍යට වන්නට හෝ උස් තෘණ පඳුරක පන් ගස් වලින් නොගැඹුරු වේදිකාවක ආකාරයෙන් යුත් කූඩුවක් තනා එහි බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.
Saturday, April 30, 2022
කළු මැටිකොකා (Ixobrychus flavicollis)
පහත රට වගුරු බිම්, පන්ගාල් සහ ජලයට ආසන්නව හොඳින් පඳුරු සහ වැල් වර්ග ඝනව වැඩුන ස්ථාන වල හමුවන දුර්ලභ දේශීය පක්ෂියෙකි. එසේම සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශ වලට සංක්‍රමණය වන සංචාරක කළු මැටිකොකුන්ද සිටී. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාශීලි පක්ෂියෙකු වුවත් ඇතැම් විට දිවා කාලයේ සැඟවි සිටින ජලයට ආසන්න ඝන පඳුරු සහිත ආරක්ෂිත ස්ථානය තුලින් එලියට පැමිණ ඒ ආසන්නයේ මසුන් අල්ලාගන්නා ආකාරයද නිරීක්ෂණය කල හැක. කළු මැටි කොකා ප්‍රධාන වශයෙන් මසුන් ගොදුරු කරගන්නා මුත් ඊට අමතරව ගෙම්බන් සහ කෘමීන්ද ආහාරයට ගනී. මෙරට තුල අභිජනනය කරන කළු මැටි කොකුන් අවස්ථා කිහිපයකදී අප්‍රේල් මාසයේදී වියලි කලාපයේදී නිරීක්ෂණය කර ඇත. ජලයට ආසන්නව පිහිටි ගසක ජලයට ඉහලින් පිහිටි අත්තක කෝටු කැබැලි යොදාගෙන සාදන කුඩා කූඩුවක බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනය කරයි.
English Post >>