Thursday, February 10, 2022

උකුසු කෝකිලයා/උකුසු කොහා (Hierococcyx varius)

 උප වීශේෂ දෙකක් ලෙසින් මෙරට හමුවන දුර්ලභ පක්ෂියෙකි උකුසු කෝකිලයා. ciceliae උප වීශේෂය මෙරට තුල අභිජනනය කරන දේශීය පක්ෂියෙකු වන අතර පහල කඳුකරයේ සිට කඳුකරයේ ඉහල ප්‍රදේශය දක්වා දුර්ලභව දැක ගත හැක. මෙරටට සංක්‍රමණය වන පක්ෂියෙකු වන varius උප වීශේෂය පහත රට ප්‍රදේශ වල දුලභ පක්ෂියෙකි. වනාන්තර තුල මෙන්ම හොඳින් ගහ කොළ සහිත ගෙවතු සහ තේ වතු වලද මෙම පක්ෂියා හමුවේ. ගස් වල උඩු වියන් ස්ථරයේ සිටින කෘමින් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා උකුසු කෝකිලයා ඇතැම් කුඩා ගෙඩි වර්ගද ආහාරයට ගන්නා බව පැවසේ. බොහෝ විට තනි පක්ෂීන් ලෙසින් හමුවන මුත් ජෝඩු ලෙසින්ද ඇතැම් විට දැකගත හැක. ජනවාරි සිට අප්‍රියෙල් දක්වා කාලයේ අභිජනනය කරන උකුසු කෝකිලයා එම කාලයේ දිවා කල මෙන්ම රාත්‍රියේද නාද කරන මුත් වෙනත් මාස වලදී නිශ්ශබ්ද පක්ෂියෙකි. කෝකිල කුලයට අයත් වෙනත් පක්ෂීන් මෙන්ම උකුසු කෝකිලයාද වෙනත් පක්ෂි විශේෂ තනන කූඩු වල බිත්තර දමන අතර දෙමලිච්චන් වර්ග වල කූඩු ඒ සඳහා උපයෝගි කර ගනී. උකුසු කෝකිල වැඩිහිටි සහ කුඩා පක්ෂීන්ගේ වර්ණ බොහෝ දුරට කුරුළුගෝයාගේ වර්ණ වලට ආසන්න ලෙසින් සමාන වන අතර ප්‍රමාණයෙන්, පියාඹන ආකාරයෙන් සහ ඉරියව් වලින්ද සමීප සමාන කම් දැකිය හැක.

English Post >>



1 comment:

  1. 👍 නාදය ඇසුනට දකින්න අමාරුම කුරුල්ලෙක්. අවුරුදු කුරුල්ලා නමින් තමයි සමහර ගැමියන් මෙයාව හඳුන්වන්නේ.

    ReplyDelete