Monday, August 7, 2023

සුදු දෑතුඩුවා/හිසකළු දෑකැත්තා (Threskiornis melanocephalus)

පහත රට වියලි කලාපයේ වගුරු, වැව්, කුඹුරු සහ කලපු වල සුලභ දේශීය පක්ෂියෙකි. එහෙත් තෙත් කලාපයේ විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත තෙත් බිම් වල මෙම පක්ෂියාගේ සැලකිය යුතු ගහණයක් වෙසෙන අතර එම පක්ෂීන් දෙහිවල සත්ව උද්‍යානයෙන් ඇතිවූ ගහණයක් බව පැවසේ. ගෙම්බන්, කෘමීන්, කකුළුවන්, පණුවන් වැනි සතුන් ආහාරයට ගන්නා මෙම දෑතුඩුවා අර්ධ වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරි පක්ෂියෙකු වන අතර සිය දිවා ලැගුම් ස්ථාන වල සිට V අකුරේ හැඩයට සෑදුනු රංචු දුර පිහිටි ගොදුරු බිම් කරා පියාඹන ආකාරය හවස කාලයේදී නිරීක්ෂණය කල හැක. වසරේ මුල් මාස වලදී අභිජනනයේ යෙදෙන සුදු දෑතුඩුවා සමූහ වශයෙන් වෙනත් කොකුන් විශේෂ සමග ජලයෙන් වටවූ තුරු මත කෝටු කෑලි එකතු කර කූඩුවක් තනා බිත්තර තුනක් පමණ දමා පැටවුන් බිහි කරයි.
 
English Post >>

1 comment: