Showing posts with label Birds. Show all posts
Showing posts with label Birds. Show all posts

Monday, February 14, 2022

දෙමළිච්චා (Turdoides affinis taprobanus)

ගෙවතු, වගා බිම් සහ මිනිස් වාසයන්ට ආසන්න  වනගත ප්‍රදේශ වලද ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. නමුත් ඝන වනාන්තර සහ කඳුකරයේ දුර්ලභය. බොහෝවිට හතට වඩා වැඩි කුරුල්ලන්ගේ රංචු වශයෙන් හමුවේ. එම හේතුව නිසාම ඉංග්‍රීසි භාෂාවෙන් Seven Sisters ලෙස හඳුන්වයි. කෘමින් මෙන්ම ශාකමය ද්‍රව්‍යද ආහාරයට ගන්නා දෙමලිච්චා එවන් බොහෝ ආහාර පොළොව මතු පිටින් ලබාගනී. මාර්තු සිට මැයි දක්වා සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට නොවැම්බර් දක්වා කාලයේ අභිජනනයේ යෙදේ.  ගැඹුරු කෝප්පයක හැඩයෙන් යුත් කූඩුව පඳුරක මනාව සැඟවෙන පරිදි තනා එහි බිත්තර තුනේ සිට පහ අතර ප්‍රමාණයක් දමයි.

English Post >>


Sunday, February 13, 2022

බැම සුදු හම්බු කුරුල්ලා/සරල ප්‍රීනියා (Prinia inornata insularis)

පහත රට තැනිතලා බිම් වල සිට මධ්‍යම කඳුකරයේ පහල කඳු පන්තීන් දක්වා ලඳු කැලෑ, කුඹුරු සහ වගුරු බිම් ආශ්‍රීතව, එම හමුවන ස්ථාන වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. සාපේක්ෂව වියලි කලාපයේ වඩාත් සුලභය. බැම සුදු හම්බු කුරුල්ලන් තනිව හෝ ජෝඩු වශයෙන් දවසේ වැඩි කාලයක් තණකොල පඳුරු අතර එහෙ මෙහෙ පනිමින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන කෘමීන් ගොදුරු කරගන්නා ආකාරය දැක ගත හැක. බොහෝ විට වසර පුරාම පාහේ අභිජනනයේ යෙදෙන අතර ගැඹුරු කෝප්පයක ආකාර කූඩුව,  පරඩැල් වලින් තණකොළ පඳුරක් හෝ මිටි පඳුරක් මත පොළව මතුපිට හෝ බොහෝවිට වගුරු බිමක නම් ජලය මතු පිට සිට අඩියක් හෝ අඩි තුනක් පමණ උඩින් තනන අතර, එහි බිත්තර තුනෙ සිට පහ දක්වා අතර ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Saturday, February 12, 2022

හම්බු කුරුල්ලා/ඉරි පවන්සැරියා (Cisticola juncidis)

 මුහුදු වෙරළ ආසන්න ප්‍රදේශ වල සිට ඉහල කඳුකරයේ මහඑලිය (හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය) දක්වාම දිවයින පුරාම උස තෘණ වර්ග සහිත තණ බිම්, වගුරු බිම්, වැව් අද්දර මෙන්ම කුඹුරු වලද දැකිය හැකි සුලභ පක්ෂියෙකි. තනිව හෝ ජෝඩු වශයෙන් හමුවන අතර ප්‍රධාන වශයෙන් තණකොළපෙත්තන් වැනි කෘමි සතුන් ආහාරයට ගනී. මාර්තු සිට අප්‍රියෙල් දක්වා සහ නැවතත් ජුලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ තණ පඳුරක මධ්‍යයට වන්නට මනාව සැගවෙන ආකාරයෙන් කූඩුවක් සාදා එහි බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනයේ යෙදේ. කූඩුව ඉහලින් වෘත්තාකාර කුඩා විවරයක් සහිතව සිලින්ඩරාකාර  ගොටුවක ආකාරයෙන් සාදයි. 

English Post >>

Friday, February 11, 2022

පුංචි මාල ඔලෙවියා (Charadrius dubius jerdoni)


වියලි කලාපයේ වෙරළබඩ වගුරු බිම්, මඩ වගුරු, වියලී ගිය වැව් පිට්ටනි, කුඹුරු සහ වැලි පර ආදී ස්ථාන වල දැකිය හැකි දේශීය පක්ෂියෙකි පුංචි මාල ඔලෙවියා. එසේම curonicus  උපවිශේෂය සංචාරක පක්ෂීන් මෙරට තුල දැකිය හැකි උතුරු අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී සංක්‍රමණික පක්ෂියෙකු ලෙසද අප රට තුලට පැමිණේ. එම කාලය තුලදී පුංචි මාල ඔලෙවියන් කොළඹ ආශ්‍රිත කෝට්ටේ සහ බෙල්ලන්විල-අත්තිඩිය ආදී ප්‍රදේශ වල ඇති තෙත් බිම් වලද ඇතැම්විට දැක ගත හැක. නොගැඹුරු ජලයේ සහ වියලි භූමිය මත වෙසෙන කුඩා සතුන් පුංචි මාල ඔලෙවියාගේ ප්‍රධාන ආහාර වන අතර බොහෝ විට එවැනි ස්ථාන වල විසිරුණු රංචු වශයෙන් ආහාර සොයමින් සිටිමින් අනතුරක් දැනුණු විට රංචුවක් ලෙසින් එකතු වී එකවර පියඹා යන ආකාරය නිරීක්ෂණය කල හැක.දේශීයව වසන පක්ෂීන් මැයි සිට ජූනි දක්වා මාස වල අභිජනනයේ යෙදෙන අතර බොරළු සහිත වෙරලේ, වැලි කඳු මත හෝ විශාල වැව් වල මැද ඇති කුඩා දූපත් වල බොරළු කණ්ඩියක් මත පහුරු ගා සාදා ගත් කුඩා වලක බිත්තර 3 ක් පමණ දමා අභිජනනයේ යෙදේ.  

English Post >> 

Thursday, February 10, 2022

උකුසු කෝකිලයා/උකුසු කොහා (Hierococcyx varius)

 උප වීශේෂ දෙකක් ලෙසින් මෙරට හමුවන දුර්ලභ පක්ෂියෙකි උකුසු කෝකිලයා. ciceliae උප වීශේෂය මෙරට තුල අභිජනනය කරන දේශීය පක්ෂියෙකු වන අතර පහල කඳුකරයේ සිට කඳුකරයේ ඉහල ප්‍රදේශය දක්වා දුර්ලභව දැක ගත හැක. මෙරටට සංක්‍රමණය වන පක්ෂියෙකු වන varius උප වීශේෂය පහත රට ප්‍රදේශ වල දුලභ පක්ෂියෙකි. වනාන්තර තුල මෙන්ම හොඳින් ගහ කොළ සහිත ගෙවතු සහ තේ වතු වලද මෙම පක්ෂියා හමුවේ. ගස් වල උඩු වියන් ස්ථරයේ සිටින කෘමින් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා උකුසු කෝකිලයා ඇතැම් කුඩා ගෙඩි වර්ගද ආහාරයට ගන්නා බව පැවසේ. බොහෝ විට තනි පක්ෂීන් ලෙසින් හමුවන මුත් ජෝඩු ලෙසින්ද ඇතැම් විට දැකගත හැක. ජනවාරි සිට අප්‍රියෙල් දක්වා කාලයේ අභිජනනය කරන උකුසු කෝකිලයා එම කාලයේ දිවා කල මෙන්ම රාත්‍රියේද නාද කරන මුත් වෙනත් මාස වලදී නිශ්ශබ්ද පක්ෂියෙකි. කෝකිල කුලයට අයත් වෙනත් පක්ෂීන් මෙන්ම උකුසු කෝකිලයාද වෙනත් පක්ෂි විශේෂ තනන කූඩු වල බිත්තර දමන අතර දෙමලිච්චන් වර්ග වල කූඩු ඒ සඳහා උපයෝගි කර ගනී. උකුසු කෝකිල වැඩිහිටි සහ කුඩා පක්ෂීන්ගේ වර්ණ බොහෝ දුරට කුරුළුගෝයාගේ වර්ණ වලට ආසන්න ලෙසින් සමාන වන අතර ප්‍රමාණයෙන්, පියාඹන ආකාරයෙන් සහ ඉරියව් වලින්ද සමීප සමාන කම් දැකිය හැක.

English Post >>



Sunday, January 30, 2022

ගම් කපුටා/කලු කපුටා (Corvus levaillantii)

 දිවයින පුරාම පාහේ ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකු වන ගම් කපුටා නාගරික ප්‍රදේශ වල තරමක් දුර්ලභව දැකිය හැක. එම ප්‍රදේශ වල බහුලව හමුවන්නේ කොළඹ කපුටා ලෙසින් හැඳින්වෙන කපුටු විශේෂයයි. නිතරම ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් හමුවන ගම් කපුටන් කොළඹ කපුටන් මෙන් ආහාර උදෙසා එතරම් මිනිසා මත යැපීමක් සිදු නොකරන බැවින් ඇතැම්විට මිනිස් වාසයෙන් ඈතට වන්නට පිහිටි  වනාන්තර තුලද හමුවේ. සර්වභක්ෂිකයෙකු වන ගම් කපුටා මළකුණු මත මෙන්ම මිනිස් අපද්‍රව්‍යද මතද යැපෙන ආකාරය නිරීක්ෂණය කල හැක. ගම් කපුටා අප්‍රියෙල් සිට සැප්තැම්බර් අතර කලයේ උස ගසක් මත කෝටු කැබැලි ගොඩක් එකතු කර සාදන කූඩුවක බිත්තර 3 ක් හෝ 4 ක් පමණ දමා අභිජනනයේ යෙදේ. 

English Post >> 

Sunday, January 23, 2022

White Wagtail/සුදු හැලපෙන්දා (Motacilla alba dukhunensis)

 White Wagtail is a rare but regular winter migrants to the lowlands. It can be seen on ground of open areas and cultivated lands, often close to water sources. Usually as solitary birds or may be as a scattered flock of few birds, sometimes also associated with other wagtails. It feeds entirely on small insects. As it is with other wagtails White Wagtail also roosts communally in large flocks in a reed bed or similar habitat.

Sub Species - Motacilla alba leucopsis >>

සිංහලෙන් කියවන්න >> 

Sunday, October 31, 2021

පලා කොකා/කඩොල් කොකා (Butorides striata)

පලා කොකා නැතහොත් කඩොල් කොකා ලෙසින් හැදින්වෙන මෙම දේශීය පක්ෂියා පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල ප්‍රදේශය දක්වාම කඩොලාන, කලපු, ලුණු ලේවායන්, වගුරු බිම්, වැව් අද්දර ඇති වදුලු බිම් තුල මෙන්ම ගං ඉවුරු වලද දුර්ලභව හමුවේ. කුඩා මාලුන්, ඉස්සන් සහ ජලජ කෘමින් ප්‍රධාන වශයෙන් ආහාර කරගන්නා පලා කොකා බොහෝවිට තනි පක්ෂීන් ලෙස උදෑසන සහ ගොම්මන් යාමයේ වැඩි වශයෙන් ආහාර සොයා යන ආකාරය දැක ගත හැක. ගසක් මත එතරම් උස් නොවූ තැනක කූඩුවක් සාදා මාර්තු සිට ජූලි දක්වා කාලයේ පලා කොකුන් අභිජනනයේ යෙදේ. 

English Post >>

Thursday, October 28, 2021

කවුඩා (Dicrurus caerulescens)

පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා සුලභව හමුවන දේශීය පක්ෂියෙකි කවුඩා. ගස් කොළන් බහුල ප්‍රදේශ වල, තේ සහ රබර් වතු වල මෙන්ම ගෙවතු වලත් වාසය කරන කවුඩන් ඝන වනාන්තර ඇතුලත හමු නොවේ. තනිව හෝ ජෝඩු වශයෙන් ජීවත් වන කවුඩන් විදුලි සහ දුරකතන රැහැන් හෝ වැටවල් මත හෝ සිට ඉගිලෙමින් පියාඹන කෘමීන් ගොදුරු කරගනිමින් බොහෝවිට නැවතත් එම ස්ථානයටම එන ආකාරය නිරීක්ෂණය කල හැක. කුරුළුගොයන් සහ පොල්කිච්චන් වැනි වෙනත් පක්ෂීන්ගේ මෙන්ම විශේෂයෙන් පූසන්ගේ හඩ අනුකරණය කරන පුරුද්දක් කවුඩන්ට ඇත. පෙබරවාරි සිට මාර්තු දක්වා කාලයේ ගසක තිරස් අතට වූ කරුවක් මත කුඩා නොගැඹුරු කූඩුවක් සාදා බිත්තර 2 ක් හෝ 3 ක් පමණ දමා අභිජනනයේ යෙදේ.  
English Post >>

Wednesday, October 27, 2021

කිරළා/යටිමල් කිරළා (Vanellus indicus)


 පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශ වල වැව් අසල, කුඹුරු වල සහ බොහෝවිට ජලය සහිත ස්ථානයකට එතරම් නුදුරු වෙනත් විවෘත භූමි වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකු වන කිරළා හෙවත් රත් යටිමල් කිරළා වියලි කලාපයේදී වඩාත් සුලභව දැක ගත හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් එහෙ මෙහෙ ඇවිදිමින් පොළව මත හමුවන පලගැටියන්, කුරුමිණියන්, වේයන්, කුහුඹින් වැනි කෘමීන් අල්ලන් කන කිරළන් එවන් ස්ථාන වල නිබදව දැක ගත හැක. කිරළන් අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලයේ භූමියේ ගල් සහ වෙනත් එවන් සුන්බුන් අතර පොළව සූරා තනාගත් නොගැඹුරු වලක බිත්තර හතරක් පමණ දමා අභිජනනයේ යෙදේ. එවන් ස්ථාන වලට කිසිවෙකු හෝ ලගාවන විට ශබ්ද නගමින් ඔහු වටා ඉගිලෙමින් අනතුර පහව යන තෙක් හැසීරීම කිරළුන්ගේ විශේෂ ලක්ෂණයකි.

English Post >>

Sunday, October 24, 2021

කිතලා (Porphyrio porphyrio)

 පහත රට වියලි සහ තෙත් කලාපයේ වැව්, මඩ වගුරු සහ පන් ගාල් ආශ්‍රීතව වෙසෙන සුලභ දේශීය පක්ෂියෙකි කිතලා. බොහෝවිට 10 කට නොවැඩි කුඩා රංචු ලෙසින් දිය මත පාවෙන ශාක මත ඇවිදින හෝ පන් ගාල් අස්සෙන් ගමන් කරන කිතලුන් එවන් පරිසර වල නිරීක්ෂණය කල හැක. කෙසේ නමුත් ඊට වඩා විශාල රංචු ලෙසද ඇතැම් අවස්ථා වලදී හමුවේ. කිතලුන්ට දිය මත හොඳින් පීනා යෑමේ හැකියාව ඇති මුත් ඔවුන් එසේ කිරීමට සිදුවන අවස්ථාවකදී විනා නිතර පිහිනීම සිදු නොකරයි. මොවුන්ට වේගයෙන් ඇතැම්විට තරමක විශාල දුරක් වුවද ඉගිලී යෑමේ හැකියාව ඇත. ප්‍රධාන වශයෙන් ශාක කොටස් සහ කෘමීන් අහාරයට ගන්නා අතර වසරේ මුල් කාලයේ, බහුලවම මාර්තු සිට මැයි දක්වා කාලයේ පන් ගාල් අතර කොළ රොඩු ගොඩක් මත කූඩුවක් සාදා අභිජනනයේ යෙදේ. විශාල ශබ්ද නගමින්, කලහකාරී ලෙස හැසිරෙන කිතලුන් එකිනෙකා හඹා යන ආකාරය විශේෂයෙන් එම කාලයේදී දැකිය හැක.

English Post >>

Friday, October 22, 2021

ඔටුමානා/තිත් හොට පැස්තුඩුවා (Pelecanus philippensis)

පහත රට වියලි කලාපයේ වැව්, වගුරු බිම් සහ කලපු වල සුලභ පක්ෂියෙකි ඔටුමානා හෙවත් තිත් හොට පැස්තුඩුවා. තවද දෙහිවල සත්ව උද්‍යානයෙන් මුදාහල පක්ෂීන්ගෙන් ඇරඹුන තෙත් කලාපය තුලද අභිජනනය කරන සමූහයන් කිහිපයක්ම කොළඹ අවට තෙත් බිම් වාසස්ථාන කරගනිමින් වෙසේ. පක්ෂීන් දෙතුන් දෙනාගෙන් සැදුන රංචු වල සිට ඇතැම් විට සියය ඉක්මවන සාමාජිකයන් සහිත රංචු දක්වා ඔටුමානාවන් රංචු ලෙසින් දිවිගෙවයි. ඔවුන් බොහෝවිට රංචු ලෙසින්ම ජලයේ මසුන් අල්ලමින් වැඩි කාලයක් ගත කරයි. මාර්තු සිට මැයි දක්වා කාලයේ ජලයෙන් යට වූ හෝ වගුරක පිහිටි ගස් මත කෝටු කැබැලි සහ පරඬැල් භාවිතා කරමින් සාදන විශාල කූඩුවක බිත්තර දමා අභිජනනයේ යෙදෙයි . බොහෝවිට එක් ගසක පක්ෂීන් කිහිප දෙනෙකුගේම කූඩු දැක ගත හැකි අතර, වෙනත් කොකුන්, දියකාවන් වැනි පක්ෂීන්ගේ කූඩුද එම ගස් වල මෙන්ම අවට අනෙකුත් ගස් වලද එම කාලයේදි සුලභව දැක ගත හැක (මෙලෙස විවිධ පක්ෂීන් එක්ව එකම පෙදෙසක කූඩු තැනීමෙන් බිත්තර සහ කුඩා පැටවුන් ආහාර කර ගන්න විලෝපිකයන්ට එම සියළු පක්ෂීන්ගේ අවධානයෙන් මිදී සිය ගොදුරු කරා ලගා වීමට අපහසු වේ.) ඔටුමානාට වේගයෙන් මෙන්ම ඉතාමත්ම ඉහල ආකාශයේ පියාසර කිරීමේ හැකියාව ඇත. බොහෝවිට රංචු ලෙස පියාසර කිරීමේදී  ඉංග්‍රීසි V අකුරේ හැඩයට පියාසර කරන ඔටුමානා රංචු නිරීක්ෂණය කල හැක. ඔටුමානා ගෝලීය වශයෙන් තර්ජිත කාණ්ඩයට අයත් පක්ෂියෙකු වුවත් මෙරට තුල සුලභව හමුවීම විශේෂත්වයකි.  

English Post >>

Tuesday, October 19, 2021

සිලුටු දෑතුඩුවා (Plegadis falcinellus)


 සිලුටු දෑතුඩුවන් මෙරට තුල අභිජනය කල බවට වූ පැරණි වාර්තා ඇතිමුත් වර්තමානය වන විට තරමක් දුර්ලභ මුත් නිත්‍ය සංචාරක පක්ෂියෙක් ලෙස සැලකේ. සිලුටු දෑතුඩුවා මෙරට තුල සිටින කාලයේදී පහත රට ඇතැම් වගුරු බිම්, කුඹුරු, වැව් සහ කලපු ආශ්‍රිතව කුඩා රංචු වශයෙන් නොගැඹුරු ජලයේ පණුවන්, ජලජ කෘමින්, ක්‍රස්ටේෂියාවන්, ගෙම්බන් සහ වෙනත් එවැනි කුඩා සතුන් ගොදුරු කරගනිමින් ගැවසෙනු දැකිය හැක. ඔවුන් විශේෂයෙන් දිය කූඩැල්ලන් අහාරයට ගැනීමට රුචියක් දක්වන බව පැවසේ. රාත්‍රී කාලයේ වෙනත් ජලජ පක්ෂීන් සමග ජලාශ්‍රිත ගස් මත ලැගුම් ගන්නා බව නිරීක්ෂණය කර ඇත.  

English Post >>

Monday, October 18, 2021

ගෙල සුදු මැදි-පිළිහුඩුවා/පිළිහුඩුවා (Halcyon smyrnensis)

 දිවයින පුරා සියළුම දේශගුණික කලාප වල ඉතාමත් සුලභ පක්ෂියෙකු මුත් ඉහල කඳුකරයේ තරමක් දුර්ලභව හමුවන ගෙල සුදු මැදි-පිළිහුඩුවා (පොදු ව්‍යවහාරයේ පිළිහුඩුවා ලෙසින් හැඳින්වේ) බොහෝවිට අනෙකුත් පිළිහුඩු විශේෂ මෙන් නොව ජලජ පරිසර වලින් ඈත්ව විවෘත බිම් අසල දුරකථන සහ විදුලි රැහැන් වැනි උස් තැන් වල දැක ගත හැක. මේ හේතුව නිසාම අනෙකුත් පිළිහුඩු විශේෂ මෙන් මත්ස්‍යයන් ගෙල සුදු මැදි-පිළිහුඩුවාගේ ප්‍රදාන ආහාරය නොවන බව පැවසේ. ඒ වෙනුවට පලගැටියන්, ගෙම්බන්, කුරුමිණියන්, පණුවන් සහ කටුස්සන්, හිකනලුන් වැනි කුඩා උරගයන් මෙම පිළිහුඩුවාගේ ප්‍රදාන ගොදුරු ලෙස සැලකේ. ගං හෝ වැව් ඉවුරක හෝ මාර්ගයක් අසල කණ්ඩියක ඇතුලට හාරා කෙලවර විශාල කුහරයක් සහිතව සාදන බෙනයක ගෙල සුදු මැදි-පිළිහුඩුවා බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමා වසරේ දෙසැම්බර් සිට ජූනි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. බොහෝවිට මාර්තු සිට අප්‍රියෙල් කාලයේ අභිජනනයේ යෙදෙන පිළිහුඩුවන් බහුලව දැකිය හැක.  කුඩා පැටවුන්ගේ ආහාර සඳහා ගෙල සුදු මැදි-පිළිහුඩුවා පැණි කුරුල්ලන්, බට්ටිච්චන්, වී කුරුල්ලන් වැනි කුඩා පක්ෂීන් මරා ගෙන එන ආකාරය නිරීක්ෂණය කර ඇත. 

English Post >> 


Sunday, October 17, 2021

පොදු සිලිත්තා (Actitis hypoleucos)

 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල මෙරටට පැමිණ ඊලග වසරේ අප්‍රියෙල්- මැයි පමණ දක්වා මෙරට තුල ගත කරන සුලභ සංචාරක පක්ෂියෙකි පොදු සිලිත්තා. එම කාලය තුල මුළු දිවයින පුරාම පාහේ ජලජ පරිසර ආශ්‍රීතව දැකිය හැක. නිබඳව තනි පක්ෂීන් ලෙස හමුවුවත් ඇතැම් විට කුඩා විසිරුණු රංචු ලෙසින්ද දැකිය හැක. මොලුස්කාවන්, කෘමීන් සහ ක්‍රස්ටේෂියාවන් අහාරයට ගන්නා පොදු සිලිත්තා වරින් වර සිය පෙඳය ඉහල පහල කරන හැසිරීමක් දක්වයි.

English Post >>

Sunday, July 11, 2021

කළුකිච්චා (Saxicoloides fulicatus)


වියලි කලාපයේ වියලි විවෘත ප්‍රදේශ වල සුලභව හමුවන, තෙත් කලාපයේ දුර්ලභව ඇතැම් විශේෂිත ප්‍රදේශ වල පමණක් කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා පාහේ හමුවන දේශිය පක්ෂියෙකි. ගෙවතු, වගා බිම් සහ ලඳු බිම් වලට වඩාත් ප්‍රියකරන කළුකිව්ච්චා ඝන වනාන්තර තුල හමු නොවේ. භෞමිකව කුඩා කෘමීන් ආහාරයට ගනිමින් ජෝඩු වශයෙන් හැසිරෙන කළුකිච්චන් වසරේ මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ පස් කණ්ඩියක, ගසක කඳක හෝ ඇතැම් විට ගොඩනැගිල්ලක් තුල වූ කුහරයක කූඩුවක් සාදා බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Tuesday, June 15, 2021

කොන්ඩ කුරුල්ලා (Pycnonotus cafer)

ගෙවතු, වගා බිම්, බඩවැටි වල මෙන්ම වනාන්තර මායිම් වලද දිවයින පුරාම පාහේ හමුවන සුලභ දේශිය පක්ෂියෙකි. නමුත් වනාන්තර අභ්‍යන්තරයේ හමු නොවේ. ජෝඩු වශයෙන් හෝ ඇතැම් විට කුඩා රංචු වශයෙන් දිවිගෙවන කොන්ඩ කුරුල්ලන් කුඩා ගෙඩි වර්ග සහ කෘමීන් ආහාරයට ගනී. වසර පුරාම කිහිප පාරක්ම අභිජනනයේ යෙදෙන පක්ෂියෙකු වුවත් මාර්තු සිට මැයි දක්වා සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ප්‍රධාන අභිජනන සමයන් ඇති බව නිරීක්ෂණය කර ඇත. කුඩා කෝටු කැබැලි, පරඩැල්, මුල් කැබැලි ආදිය යොදා මකුලුදැල් වලින් ඒවා එක් කර සාදන කෝප්පයක භැඩැති කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Tuesday, April 13, 2021

හිස කළු කොණ්ඩයා/ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා (Pycnonotus melanicterus)

පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශ දක්වා වනාන්තර, වෙනත් එවැනි  ගස් කොළන් බහුල ස්ථාන සහ ආශ්‍රීත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි.  නමුත් තෙත් කලාපයේ සහ වියලි කලාපීය ගංගා දෙපස පිහිටි වනාන්තර වල වඩාත් සුලභය. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් දිවිගෙවන හිස කළු කොණ්ඩයන් ප්‍රධාන වශයෙන් පළතුරු, කුඩා ගෙඩි ජාති මෙන්ම කෘමි සතුන්ද ආහාරයට ගනී. වසරේ මාර්තු සිට අප්‍රේල් දක්වා සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා පඳුරු අතර හෝ කුඩා ගසක අතු පතර මනාව සැඟවුන ස්ථානයක කෝප්පයක හැඩය සහිත කූඩුවක් තනා අභිජනනයේ යෙදේ. 
English Post >>

Monday, March 29, 2021

ඇටිකුකුලා (Centropus sinensis)

 දිවයින පුරා ගෙවතු, වගා බිම්, ලඳු කැලෑ, තෙත් කලාපයේ වනාන්තර මායිම් සහ වියලි කලාපීය වනාන්තර තුලද හමුවන සුලභ දේශිය පක්ෂියෙකි. බොහෝවිට භෞමිකව ගොදුරු සොයා යන ඇටිකුකුලා ගොළුබෙල්ලන්, කටුස්සන්, ගෙම්බන්, කෘමීන්, සර්පයින් මෙන්ම කුරුළු බිත්තර සහ කුඩා කුරුළු  පැටවුන්ද ආහාරයට ගනී. තනිව හෝ ජෝඩු වශයෙන් හමුවන ඇටි කුකුලන්ගේ ගැහැණු/පිරිමි ජෝඩු ජීවිත කාලය පුරාම එක්ව සිටින බව විශ්වාස කෙරේ. ඔවුන් ගොදුරු සොයා යෑමේදී නිබදවම එකිනෙකා හා ශබ්ද නිකුත් කරගනිමින් සන්නිවේදනය පවත්වා ගනී. පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වාත් නැවත ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වාත් තාල ගසක අතු පතර හෝ කටු සහිත පඳුරු අතර සැඟවුණ ගෝලාකාර කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>


Sunday, March 28, 2021

ඉන්දු දියකාවා (Phalacrocorax fuscicollis)

පහත රට වියලි කලාපයේ ඉතාමත්ම සුලභ දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ මෙන්ම කඳුකරයේ පහල කොටසේද තරමක් දුර්ලභ ලෙසින් හමුවේ. කුඩා රංචු වශයෙන් පුංචි දියකාවන් වැනි වෙනත් ජලාශ්‍රීත පක්ෂීන්ද සමගින් වගුරු බිම්, වැව්, කලපු, ගංගා සහ විශාල ඇල මාර්ග වල ජලයේ කිමිදී මත්ස්‍යයන් ගොදුරු කරගනිමින් හැසිරේ.වසරේ ඔක්තෝබර් සිට අප්‍රියෙල් දක්වා මාස වල ජලයේ වැඩී ඇති ගස් වල අතු මත කෝටු කෑලි තබා සැදූ කූඩුවක බිත්තර දමා අභිජනනයේ යෙදේ. බොහෝවිට සමූහ වශයෙන් කොකුන් සහ වෙනත් දියකා විශේෂද එම ගස් වලම එකම කාලයකදී එක්ව කූඩු තනන ආකාරය දැක ගත හැක.

English Post >>