English Post >>
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Friday, August 25, 2023
කඳු වැහිළිහිණියා/හෙල් වැහිළිහිණියා (Hirundo domicola)
කඳුකරයේ තෘණ භූමි සහ වගා බිම් වල මෙන්ම ගම් සහ නගර වල විවෘත ස්ථාන වලද සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේදී කඳුකරයේ පාමුල ප්‍රදේශ වලද ඇතැම්විට දැකිය හැක. කුඩා පියාඹන කෘමීන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා කඳු වැහිළිහිණියා ඔවුන්ගේම කුඩා රංචු ලෙසින් හෝ වෙනත් වැහිළිහිණි විශේෂ සමග පියාඹමින් එම සතුන් ගොදුරු කරගනී. පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ සහ නැවතත් සැප්තැම්බර් මාසයේ බිත්තියක හෝ පාරක ඉවුරේ හෝ වෙනත් එවැනි ස්ථානයක මඩ සහ පිදුරු එකතු කර වටේට පිහාටු යොදා තනන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.
Wednesday, August 23, 2023
හීන් මල්කුරුල්ලා/පෙරදිගු සිතැසියා (Zosterops palpebrosa)
තෙත් කලාපයේ පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මුහුදු මට්ටමේ සිට මීටර 1800 පමණ උස් මට්ටම් දක්වා වනාන්තර, හොඳින් ගහ කොළන් සහිත ගෙවතු සහ වගා බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. වියලි ඌව කඳුකරයේදී මුහුදු මට්ටමේ සිට මීටර 1800 උස මට්ටම් දක්වා වාර්තා වේ. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් ගසින් ගසට පියාඹමින් ප්‍රධාන වශයෙන් මල් පැණි බොමින් සහ කෘමීන්, දළඹුවන් සහ කුඩා ගෙඩි වර්ග ආහාරයට ගනිමින් ජීවත් වේ. ප්‍රධාන වශයෙන් ගස් මුදුන් වල සැරිසරන මුත් වනාන්තරයේ කුඩා දිය පහරවල වල බැස වතුර නාන ආකාරය නිරීක්ෂණය කල හැක. අප්‍රියෙල් සිට මැයි දක්වා සහ බොහෝවිට නැවතත් සැප්තැම්බර් මාසයේදී අතු කෑලි දෙකක් අතර එල්ලෙන කුඩා කෝප්පයක හැඩැති කූඩුවක් තනා බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය කරයි.
Wednesday, August 16, 2023
කළු කවුඩා (Dicrurus macrocercus)
පහත රට වියලි කලාපයේ උතුරු සහ වයඹ පලාත් වල ස්ථානීය වශයෙන් සුලභ දේශීය පක්ෂියෙකි. උතුරු මැද පළාතේද එතරම් සුලභ නොවන ලෙස හමුවේ. තවද සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන මාස වල වරින් වර දිවයිනේ දකුණු ප්‍රදේශ වලින්ද වාර්තා වී තිබේ. කළු කවුඩා විවෘත භූමි, වනාන්තර සහ ලඳු කැලෑ වල බොහෝවිට තනි පක්ෂීන් ලෙසද ඇතැම්විට ජෝඩු වශයෙන්ද හමුවේ. පියාඹන කෘමීන් ආහාරයට ගන්නා මෙම පක්ෂියා වැටක, ගසක අත්තක් මත, දුරකතන හෝ විදුලි රැහැන් මත හෝ වෙනත් එවැනි ස්ථානයක සිට හඹා යමින් එම සතුන් ගොදුරු කර ගනී. වෙනත් කවුඩන් ලෙසින්ම කළු කවුඩාද වෙනත් පක්ෂීන් සහ පූසන් වැනි සතුන්ගේ හඬ අනුකරණය කරයි. වසරේ මාර්තු සිට මැයි දක්වා කාලයේ කුඩා කෝටු කැබලි, කෙඳි වර්ග සහ මකුළු දැල් උපයෝගි කරගෙන කෝප්පයක හැඩයට ගස් දෙබලක, බොහෝවිට හොඳින් නිරාවරණය වූ ස්ථානයක තනන කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Thursday, August 10, 2023
මහ කොවුල්සැරටිත්තා/මහ කොවුල්ඇස්පටියා (Coracina macei)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර වල දැකිය හැකි එතරම් සුලභ නොවන දේශිය පක්ෂියෙකි. තෙත් කලාපයේ දුර්ලභය. ඇතැම්විට ජෝඩු වශයෙන් සහ කුඩා රංචු වශයෙන් සැරිසරන මුත් බොහෝවිට තනි පක්ෂීන් ලෙස හමුවන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් වනාන්තර උඩු වියනේ වෙසෙන කෘමින් ගොදුරු කර ගනී. මැයි සිට ජූනි දක්වා කාලයේ හීනි කෝටු කැබැලි, ශාක පත්‍ර වල නාරටි, ලයිකන ආදිය මකුළු දැල් වලින් එකතු කර තනන නොගැඹුරු කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Wednesday, August 9, 2023
වත නිල් මල්කොහා (Phaenicophaeus viridirostris)
වියලි සහ අතරමැදි කලාපයට අයත් පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා ලඳු කැලෑ, වනාන්තර අද්දර, ද්විතියක වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ගෙවතු වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශිය පක්ෂියෙකි වත නිල් මල්කොහා. ඉතාමත් කුලෑටි පක්ෂියෙකු වන අතර අනතුරක් දුටු විගස තුරු සහ පඳුරු වල ඝන කොළ අතු අතර සැඟවේ. ජෝඩු වශයෙන් හැසිරෙන මෙම පක්ෂියා ගස් සහ පඳුරු වල අතු අතර සැගවී ගමන් කරමින් පලගැටියන්, වන්දන් වැනි කෘමීන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. බොහෝවිට වසර පුරාම අභිජනනයේ යෙදෙන අතර, කුඩා ගසක මධ්‍යයෙහි කෝටු කෑලි වලින් තනා වටේට කොළ පැහැති කොළ කිහිපයක් යොදා සදන රවුම් පීරිසියක හැඩැති විවෘත කූඩුවක බිත්තර දෙකක් දමා පැටවුන් බිහි කරයි.
English Post >>
Tuesday, August 8, 2023
විල් කුකුලා/ පොදු ගැලිනුවා (Gallinula chloropus)
පහත රට වියලි කලාපයේ වැව්, කුඹුරු, සහ වගුරු බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේ එතරම් සුලභව හමු නොවේ. ජෝඩු වශයෙන් හෝ කුඩා විසිරුණු රංචු වශයෙන් සැරිසරණ මෙම පක්ෂියා වතුරේ සිටින කෘමීන් වැනි කුඩා සතුන් ගොදුරු කරගන්නා අතර විවිධ ශාකමය කොටස්ද ආහාරයට ගනී. මෙම පක්ෂියා ඇතැම් අවස්ථා වල උකුස්සන් වැනි විලෝපිකයන්ගෙන් බේරිම සඳහා වතුරේ කිමීදි, දිය යට තිබෙන පැලෑටි මත රැදෙමින් හොට පමණක් ජල මතුපිටෙන් ඉහලට තබාගෙන හුස්ම ගනිමින් සැලකිය යුතු කාලයක් සැගවී සිටින ආකාරය නිරීක්ෂණය කර ඇත. මාර්තු සිට ජූලි දක්වා වූ අභිජනන සමයේදී ජලයේ වැවෙන පඳුරක් මත කූඩුවක් තනා බිත්තර 5 සිට 8 පමණ දක්වා ප්‍රමාණයක් දමා පැටවුන් බිහිකරයි
English Post >>
Monday, August 7, 2023
සුදු දෑතුඩුවා/හිසකළු දෑකැත්තා (Threskiornis melanocephalus)
පහත රට වියලි කලාපයේ වගුරු, වැව්, කුඹුරු සහ කලපු වල සුලභ දේශීය පක්ෂියෙකි. එහෙත් තෙත් කලාපයේ විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත තෙත් බිම් වල මෙම පක්ෂියාගේ සැලකිය යුතු ගහණයක් වෙසෙන අතර එම පක්ෂීන් දෙහිවල සත්ව උද්‍යානයෙන් ඇතිවූ ගහණයක් බව පැවසේ. ගෙම්බන්, කෘමීන්, කකුළුවන්, පණුවන් වැනි සතුන් ආහාරයට ගන්නා මෙම දෑතුඩුවා අර්ධ වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරි පක්ෂියෙකු වන අතර සිය දිවා ලැගුම් ස්ථාන වල සිට V අකුරේ හැඩයට සෑදුනු රංචු දුර පිහිටි ගොදුරු බිම් කරා පියාඹන ආකාරය හවස කාලයේදී නිරීක්ෂණය කල හැක. වසරේ මුල් මාස වලදී අභිජනනයේ යෙදෙන සුදු දෑතුඩුවා සමූහ වශයෙන් වෙනත් කොකුන් විශේෂ සමග ජලයෙන් වටවූ තුරු මත කෝටු කෑලි එකතු කර කූඩුවක් තනා බිත්තර තුනක් පමණ දමා පැටවුන් බිහි කරයි.
English Post >>
Tuesday, August 1, 2023
කොණ්ඩකොහා/ගෝමර කොණ්ඩකොහා (Clamator jacobinus)
පහත රට වියලි කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා විවෘත ලඳු කැලෑ, පන් ගාල් සහ වගුරු පරිසර පද්ධති වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. තෙත් කලාපයේ දුර්ලභය. තනිව, ජෝඩු වශයෙන් හෝ ඇතැම්විට කුඩා රංචු වශයෙන් දිවි ගෙවන ගෝමර කොණ්ඩකොහා පලගැටියන්, කුරුමිණියන් සහ දලඹුවන් වැනි කෘමීන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. කෝකිලයන් අයත් වන පවුලේ වෙනත් බොහෝමයක් පක්ෂීන් මෙන් ගෝමර කොණ්ඩකොහාද වෙනත් පක්ෂීන්ගේ කූඩු වල බිත්තර දමන පරපෝෂිත පක්ෂියෙකි. මූලික වශයෙන් පැහැයෙන් සහ ප්‍රමාණයෙන් එක සමාන බිත්තර දමන දෙමලිච්චන්ගේ කූඩු වල බිත්තර දමන මෙම පක්ෂියා බොහෝවිට වසර පුරාම පාහේ අභිජනනය කරන බව නිරීක්ෂණය කර ඇති මුත් මාර්තු සිට මැයි දක්වා සහ අගෝස්තු සිට නොවැම්බර් දක්වා කාලයේ ඒ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දක්වන බව පෙනේ. ගෝමර කොණ්ඩකොහා අභිජනන සමයේදී ඝෝෂාකාරී ලෙස නාද කරයි.
English Post >>
Saturday, July 8, 2023
Fox-tail Orchid/Batticaloa Orchid (Rhynchostylis retusa)
An indigenous epiphyte rather rare usually on trees by streams in grasslands in Uva and Eastern provinces.
Subscribe to:
Comments (Atom)