Sunday, March 27, 2022

රන් ඔලෙයියා/සෙත්කර රන් මහ ඔලෙවියා (Pluvialis fulva)

පහත රට කලපු, වැව් වැනි විශාල ජලාශ අසල පිහිටි තෘණ භූමි, වගුරු බිම් සහ මඩ වගුරු වල මෙන්ම ගොයම් කපා අවසාන වූ වියලි කුඹුරු වලද හමුවන සුලභ සංචාරක පක්ෂියෙකි. වියලි කලාපයේ වඩාත් සුලභව හමුවේ.  කුඩා හෝ විශාල විසිරුණු රංචු වශයෙන් දැකිය හැකි මෙම පක්ෂියා පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමීන් මෙන්ම පණුවන් සහ කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන්ද ආහාරයට ගනී. කුඩා දුරවල් දුවමින් එකවර නතර වෙමින් එවන් සතුන් අහුලාගන්නා රන් ඔලෙයියා උතුරු සයිබීරියාවේ සහ ඇලැස්කාවේ අභිජනනය කරයි.  

English Post >>

Saturday, March 26, 2022

කුඩා වැලි ඔලෙයියා/හීන් වැලි ඔලෙවියා (Charadrius mongolus)

ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ වෙරළට ආසන්න ලේවායන්, කලපු, මඩ වගුරු වැනි විවිධ තෙත් බිම් සහ තෙත් තෘණ භූමි වල සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද ඇතැම් සුදුසු පරිසර පද්ධති වල ඇතැම් විට දැකිය හැක. කුඩා හෝ විශාල රංචු වශයෙන්  එවන් පරිසර වල කුඩා පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමින් සහ කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන් ආහාරයට ගනී.කුඩා වැලි ඔලෙයියා මධ්‍යම ආසියනු ප්‍රදේශ වල අභිජනනය කරයි. 

English Post >> 

Thursday, March 24, 2022

දෑකැති සිලිවටුවා/කලිති හින්නා (Calidris ferruginea)


වියලි කලාපයේ කලපු, ලේවායන්, ගං මෝය සහ වෙරලට ආසන්න මඩ වගුරු සහ වගුරු බිම් වල ඉතාමත් සුලභ සංචාරක පක්ෂියෙකි. කලාතුරකින් තෙත් කලාපයේද එවන් පරිසරයන්හි හමුවේ. විශාල හෝ කුඩා රංචු වශයෙන්, ඇතැම්විට වෙනත් එවැනි වෙරලබඩ පරිසර පද්ධති වල හමුවන ජලජ පක්ෂීන්ද සමග විශේෂයෙන්ම බාදිය සමග ගසාගෙන නොයන පණුවන්, බෙල්ලන් වැනි විවිධ කුඩා ජීවින් කඩිසරව ගොදුරු කරගනිමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කල හැක.  නැගෙනහිර ආසියානු ආක්ටික් තුන්ද්‍රා බිම් වල අභිජනනය කරයි.

English Post >>

Wednesday, March 23, 2022

බමුණු පියාකුස්සා/බ්‍රාහ්මණ උකුස්සා (Haliastur indus)

ප්‍රධාන වශයෙන් වෙරළ බඩ ප්‍රදේශ වල සහ පහත රට විශාල වගුරු බිම් වල මෙන්ම වැව් සහ ජලාශ වලද සුලභ දේශීය පක්ෂියෙකි. කලාතුරකින් කඳුකරයේද දැකිය හැක. කටුස්සන්, කුරුළු පැටවුන් සහ ආබාදිත වූ පක්ෂීන්, මාළුන්, කකුළුවන්, ප්‍රමාණයෙන් විශාල කෘමීන් ආදිය ප්‍රධාන වශයෙන් ගොදුරු කරගන්නා බ්‍රාහ්මණ උකුස්සා ඔක්තෝබර් සිට අප්‍රියෙල් දක්වා  කාලයේ කෝටු කැබැලි එකතු කර ගස් මුදුනක තනන කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනය කරයි.

English Post >>

Tuesday, March 22, 2022

මහ ගොළුකිරළා/ගල් කිරළා (Esacus recurvirostris)

 පහත රට වියලි කලාපයේ විශාල වැව් අද්දර, කලපු සහ මෝය පරිසරයන්හි හමුවන එතරම් සුලභ නොවන දේශීය පක්ෂියෙකි. දිවා කාලයේ විවෘත ස්ථාන වල විවේකිව ගත කරන අතර හවස් යාමයේ අඳුර වැටෙන විට සහ රාත්‍රියේදී ක්‍රියාශිලී වේ. නිතරම ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙස හමුවන අතර කෘමින්, කකුළුවන්, පණුවන් සහ බෙල්ලන් වර්ග ආහාරයට ගනී. මහ ගොළුකිරළා ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ ජලයට ආසන්න ස්ථානයක පොලොව මත බිත්තර එකක් හෝ දෙකක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Monday, March 21, 2022

බෝල ඔලෙයියා/කෙන්ටි ඔලෙවියා (Charadrius alexandrinus)

C. a. seebohmi උප විශේෂය පහත රට වියලි කලාපයේ සුලභ දේශීය පක්ෂියෙකු වන අතර  C. a. curonicus උප  විශේෂයේ සංක්‍රමණික පක්ෂීන් සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල හමුවන කාල සීමාවේදී පහත රට වියලි හා තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අයුරින් හමුවේ.  කලපු, විශාල වැව්, මඩ වගුරු, වගුරු බිම් සහ වෙරළ ආසන්නයේ ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් බොහෝවිට වෙනත් එවන් පරිසර වල හමුවන කරදිය ආශ්‍රිත පක්ෂීන් (Waders/Shorebirds) සමග දැක ගත හැක. ඉතාම ක්‍රියාශීලී ලෙසින් එහෙ මෙහෙ දුවමින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන කෘමින් අහුලා ගනිමින් හැසිරෙන මෙම ඔලෙවියාගේ අභිජනන සමය වසරේ මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සිදුවේ. වතුරට ආසන්න ස්ථානයක නොඋස් තණකොල අතර කුඩා වලක (ඉහල දකුණු පස රූපය) බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Sunday, March 20, 2022

කැටපෙරලන්නා/රත් ගල්පෙරලියා (Arenaria interpres)

 වසරේ සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල දැකිය හැකි මාසයන්හි වියලි කලාපයේ වෙරලබඩ මඩ වගුරු, කලපු සහ ගං මෝය ආදියෙහි, විශේෂයෙන් ගල්පර සහ බොරළු සහිත පරිසරයන්හි සුලභ සංක්‍රමණික පක්ෂියෙකි. තෙත් කලාපයේද ඇතැම්විට කලාතුරකින් ගැලපෙන පරිසර පද්ධති වල නිරීක්ෂණය කර ඇත.  නිතර තනි පක්ෂීන් ලෙස ගොදුරු සොයන මුත් ඇතැම් විට කුඩා විසිරුණු රංචු ලෙසින්ද හමුවේ.  මුහුදු පාසි, කුඩා ගල් කැබැලි සහ සිප්පි කටු ආදිය හරවමින් ඒවා යට සැඟව සිටින කුඩා සතුන් අල්ලා කන හෙයින් ඉංග්‍රිසි භාෂාවෙන් Ruddy Turnstone යන නම මේ පක්ෂියාට යොදා ඇත. සිංහල නම්ද ඒ අනුසාරයෙන් නිර්මාණය කර තිබේ.  

English Post >>

Saturday, March 19, 2022

Streaked Weaver/Striated Weaver/පන් වඩුකුරුල්ලා (Ploceus manyar flaviceps)

Locally common breeding resident inhabiting tall reedbeds in marshes and tank edges in the dry lowlands, mainly in coastal areas.  Occasionally also visits similar habitats in the wet lowlands. It lives as flocks and feeds on seeds and insects in paddy fields and marshes. Streaked Weaver breeds from February to October by laying two to four eggs in globular nests with much shorter entrance than Baya Weaver's nest, woven with reeds in scattered colonies.  

සිංහලෙන් කියවන්න >>

Friday, March 18, 2022

වන සිලිබිල්ලා/වන සිලිවටුවා (Tringa glareola)

 සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල හමුවන මාස වල පහත රට වියලි කලාපයේ වෙරළ බඩ ප්‍රදේශ, කලපු, වගුරු බිම්, මඩ වගුරු වල මෙන්ම වැව් සහ කුඹුරු වලද සුලභව දැකිය හැකි සංක්‍රමණික පක්ෂියෙකි. කලාතුරකින් කඳුකරයේ සහ පහත රට තෙත් කලාපයෙන්ද වාර්තා වී ඇත. වෙනත් බොහෝ සංක්‍රමණික ජලාශ්‍රිත පක්ෂීන් මෙන් නොව මෙම පක්ෂියා මිරිදිය ජල පද්ධති වලට වැඩි කැමැත්තක් දක්වයි. බොහෝවිට තනිව හැසිරෙන මුත් ඇතැම් විට ලොකු කුඩා රංචු වශයෙන්ද හමුවන වන සිලිබිල්ලා ජලයේ වෙසෙන කුරුමිණියන්, මකුණන් සහ කීටයන් වැනි  කුඩා ජලජ කෘමීන් ආහාරයට ගනී.

English Post >> 

Thursday, March 17, 2022

මල් පිළිහුඩුවා (Alcedo atthis)


දිවයින පුරාම පාහේ මිරිදිය ජලය සහිත පරිසර පද්ධති වල හමුවන දේශීය පක්ෂියෙකි. එහෙත් ඉහල කඳුකර පෙදෙස් වලට යාමේදි කෙමෙන් සුලභතාවයේ අඩුවීමක් සිදුවේ. ජෝඩු වශයෙන් ජීවත් වන මල් පිළිහුඩුවන් ඔවුන් සඳහා ප්‍රදේශයක් වෙන් කර ගන්නා අතර එම ප්‍රදේශයට වෙනත් මල් පිළිහුඩුවන්ට පැමිණීමට ඉඩ නොදේ.  වෙනත් පිළිහුඩු විශේෂ මෙන්ම මල් පිළිහුඩුවාද ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන් ආහාරයට ගනී. වසරේ පෙබරවාරි සිට ජූනි දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන අතර, දිය පහරක හෝ  වැවක ඉවුරේ නැතහොත් ඇතැම් විට මිනිසුන් විසින් කනින ලද ලිඳක කණ්ඩියක හාරන ලද බෙනයක බිත්තර තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් දමයි.

 English Post >>

Wednesday, March 16, 2022

ශ්‍රී ලංකා වනසැරටිත්තා/කැළෑ ඇස්පටියා ((Tephrodornis affinis))

ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ සහ ස්ථානීය වශයෙන් ඇතැම් පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස මට්ටම් ප්‍රදේශ දක්වා හමුවන මෙරටට ආවේනික සුලභ පක්ෂියෙකි. ජෝඩු ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් වනාන්තර, අතරින් පතර උස ගස් සහිත ලඳු කැලෑ වල මෙන්ම හොඳින් ගහකොළ සහිත ගෙවතු වලද දැකිය හැක. උඩු වියනේ සැරිසරන කෘමින් ශ්‍රී ලංකා වනසැරටිත්තාගේ ප්‍රධාන ආහාරය වේ.  පෙබරවාරි සිට ජූනි දක්වා කාලයේ ගහක අත්තක් හෝ දෙබලක් මත නොගැඹුරු කූඩුවක් තනා (ඉහත වම පස ඡායාරූපය) එහි බිත්තර දෙකක් හෝ තුනක් පමණ දමා අභිජනනය කරයි.

 English Post >>

Tuesday, March 15, 2022

කුසඇලි මුහුදුකුස්සා/මුහුදු රාජාලියා (Haliaeetus leucogaster)

 
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ පහල ප්‍රදේශ දක්වා හමුවන එහෙත් එතරම් සුලභ නොවන දේශිය පක්ෂියෙකි. පහත රට වියලි කලාපයේ තරමක් සුලභ වන අතර කලාතුරකින් තෙත් කලාපයේ විශාල ජලාශ වල හමුවේ. නිතර ඉහල කඳුකර ප්‍රදේශ වලට සංක්‍රමණය කරයි. තනිව හෝ ජෝඩු වශයෙන්, වෙරළ බඩ ප්‍රදේශ, විශාල වැව්, ගංගා දෙපස, කලපු සහ මෝයවල් අසල සැරිසරන මුහුදු රාජාලියා ප්‍රධාන වශයෙන් මාලුන් සහ මුහුදු සර්පයන් ආහාරයට ගනී. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ අභිජනනය කරන මුහුදු රාජාලියා  උස ගසක් මත කෝටු කැබැලි එක් කර විශාල කූඩුවක් තනන අතර වසරක් පාසා එම කූඩුවම වැඩි දියුණු කරමින් අභිජනන ක්‍රියාවලිය සිදුකරයි. බොහෝවිට කූඩුව කුඩා දූපතක පිහිටි ගසක් මත හෝ ගල් කඳු සහිත උස් ප්‍රදේශයක හෝ ඉදිකරන අතර සාමාන්‍යයෙන් වරකට බිත්තර දෙකක් පමණ දමා පැටවුන් දෙදෙනෙකු බිහි කරයි.

English Post >>

Sunday, March 13, 2022

Purple Sunbird/දම් සූටික්කා[Dham Sootikka] (Nectarinia asiatica asiatica)

Rather common breeding resident of forests, scrub lands and home gardens of dry lowlands to adjoining drier mid hills. Rare and very local in the wet zone and hills. It feeds on nectar from flowers as well as small caterpillars, spiders and such other small insects. Purple Sunbird breeds from February to May. The nest is a suspended fibrous bag in open places or a hole in dense cobweb masses of a spider's web where it lays two eggs. 

සිංහලෙන් කියවන්න >>

Saturday, March 12, 2022

Clamorous Reed-warbler/Great Reed-warbler/Indian Great Reed Warbler (Acrocephalus stentoreus)

 Locally rather common breeding resident of reedbeds in wetlands and tangled vegetations growing in or near tanks and marshes of the dry lowlands. Also occasionally occurs in similar habitats of the wet zone.  It lives as pairs and feeds on small insects. Clamorous Reed-warbler breeds from March to August. The nest is a large deep cup made up of dry reed leaves, placed among reed stems where it lays two or three eggs.


Friday, March 11, 2022

හැඳි ආලාවා (Platalea leucorodia)

පහත රට වියලි කලාපයේ කලපු, වැව් සහ වගුරු බිම් වල හමුවන එතරම් සුලභ නොවන දේශිය පක්ෂියෙකි. නිතරම කුඩා රංචු වශයෙන් දැකිය හැකි හැඳි ආලාවුන් නොගැඹුරු ජලයේ සමූහ වසයෙන් එකතු වී ඉස්ගෙඩියන්, බත්කූරන්ගේ කීටයන් වැනි කුඩා ජලජ සත්වයන් මෙන්ම ඇතැම් ශාක කොටස් අහාරයට ගනී. බොහෝවිට දිවා කාලයේ විවේකිව වගුරු බිමක ඇති කුඩා දූපතක හෝ ගසක අත්තක් මත ලැග සිටින හැඳි ආලාවුන් ගොම්මන් යාමයේ වඩාත් ක්‍රියාශීලී බවක් පෙන්වයි. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ වෙනත් කොකුන් සමග සමූහ වශයෙන් කලපුවක හෝ වගුරක ජලයට ආසන්න පඳුරක් මත හෝ ගසක පහල මට්ටමේ පිහිටි අත්තක කෝටු කැබිලි රාශියක් එක්කොට කූඩුවක් තනා එහි බිත්තර 2 ත් 5 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ.

English Post >> 

Thursday, March 10, 2022

දෑතුඩු වටුවා/විඹුරැලි කලිත්තා(Numenius phaeopus)

පහත රට ප්‍රදේශ වලට, විශේෂයෙන්ම වියලි කලාපයේ වෙරළ බඩ ප්‍රදේශ වල වගුරු බිම්, මඩ වගුරු, සහ කලපු වලට වසරේ සැප්තැම්බර්-ඔක්තෝබර් මාස වලදී පැමිණ ඊලග වසරේ අප්‍රියෙල් දක්වා සිටින එතරම් සුලභ නොවන සංක්‍රමණික පක්ෂියෙකි. කකුළුවන්, බෙල්ලන්, සහ පණුවන් ගොදුරු කරගන්නා මෙම පක්ෂියා තනිව හෝ ඇතැම්විට 4 ක් හෝ 5 ක් පමණ වන කුඩා රංචු ලෙසින් හමුවේ. මෙම පක්ෂියා උතුරු යුරෝපයේ සහ බටහිර ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි. 

English Post >> 

Wednesday, March 9, 2022

Chestnut Bittern/Cinnamon Bittern/තඹල මැටි කොකා/කුරුඳු මැටි කොකා (Ixobrychus cinnamomeus)

 Rather rare breeding resident of reedbeds and such other vegetations in the marshes, tank edges, paddy fields (When the paddy is well grown) and river banks from lowlands to the hills, while becoming rarer in the up country. It lives solitary or as pairs and feeds on fish, frogs, insects and such other small animals found in aquatic habitats. Chestnut bittern is a partially nocturnal shy bird, though it is not unusual of encountering them during the day time. It breeds from June to July and lays three to five eggs in a nest made out of dry grasses and hidden in reeds or tussock in a marsh. 

Tuesday, March 8, 2022

ගොමරිට්ටා/කෙත් වැරටිච්චා (Anthus rufulus)

 දිවයින පුරාම පාහේ තෘණභූමි, කුඹුරු සහ වෙනත් එවැනි විවෘත බිම් වල සාමාන්‍යයෙන් සුලභ දේශිය පක්ෂියෙකි. ජෝඩු වශයෙන් හෝ විසිරිණු රංචු  ලෙසින් දිවිගෙවන මෙම පක්ෂියා පළගැටියන්, ගොම කුරුමිණියන්, සහ වෙනත් එවැනි පොළොව මත සිටින කෘමි සතුන් ගොදුරු කරගනී. කලාතුරකින් ගස් සහ පඳුරු මත දැකිය හැකි වුවත් යුහුසුලුව එහෙ මෙහෙ දුවමින් වරින් වර හාත් පස බැලීම සඳහා කෙලින් සිටගනිමින් භූමිය මත වැඩි වශයෙන් කාලය ගත කරයි.  ගොමරිට්ටා හෙවත් කෙත් වැරටිච්චා මාර්තු සිට ජූලි දක්වා මාස වල ප්‍රධාන වශයෙන් අභිජනනය කලත් වසරේ අනෙකුත් මාස වලද කූඩු හමුවිය හැක. තණකොල, ගස් වල මුල් වැනි දේ එකතු කර කෝප්පයක ආකාරයට තනන කූඩුව පොළොවේ  තණකොල පඳුරක ආවරණය සහිතව සාදා එහි බිත්තර තුනක් පමණ දමයි.  

English Post >>

Monday, March 7, 2022

හීන් තුඹ සේරුවා/කුඩා තුඹ සේරුවා (Dendrocygna javanica)

 පහත රට වැව්, කුඹුරු, සහ වගුරු බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. සාමාන්‍යයෙන් කුරුල්ලන් දහයක් පමණ හෝ ඊට වැඩි රංචු ලෙසින් හමුවන කුඩා තුඹ සේරුවන් වී, කුඩා කෘමීන්, සහ වෙනත් එවැනි කුඩා සතුන් ගොදුරු කරගනිමින් ජීවත් වේ. කුඩා තුඹ සේරුවා අර්ධ වශයෙන් නිශාචර පක්ෂියෙකි. දහවල් කාලයේ වැව් වල තිබෙන කුඩා දූපතක හෝ වතුර මත ඇති මැරුණු ගසක අත්තක් මත හෝ විවේකිව සිට නිබදව ඔවුන්ගේ තියුණු සියුරුසන් ශබ්දය නගමින් ගොදුරු බිම් කරා පියඹා යන කුඩා තුඹ සේරු රංචු ගොම්මන් යාමයේ දැක ගත හැක. කුඩා  තුඹ සේරුවා දෙසැම්බර් සිට ජනවාරි දක්වා සහ නැවතත් ජූලි සිට අගෝස්තු දක්වා මාස වල ජලයට ආසන්න ගල්කොළන් මත හෝ බොහෝවිට ජලයේ තිබෙන ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනයේ යෙදෙයි.


English Post >>

Sunday, March 6, 2022

ගව කොකා (Bubulcus ibis)

පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශයේ කුඹුරු, වගුරු බිම්, තෘණ භූමි සහ කසළගොඩවල් වල, බොහෝ විට එළ හරක් සහ මී හරකුන් සමග සැරිසරමින් සිටිනු දැකිය හැකි ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. තවද සංක්‍රමණික පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී විශාල වශයෙන් ගව කොකුන් මෙරටට පැමිණෙන බව නිරීක්ෂණය වී ඇත.  ගවයන් එහෙ මෙහෙ ගමන් කිරීමේදී භුමිය මත සිට පලා යන පලගැටියන් වැනි කෘමි සතුන්, ගෙම්බන්, සහ කුඩා උරගයන් ගොදුරු කර ගැනීමට මේ ආකාරයට ගව කොකා ඔවුන් සමග සැරිසරයි. එසේම ගවයන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන්, මැස්සන් සහ කූඩැල්ලන් වැනි සතුන්ද මේ පක්ෂියා ආහාරයට ගනී. රාත්‍රියට සමූහ වශයෙන් ගස් මත ලැග සිටින ගව කොකුන් දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේ කොකුන් සමූහ වශයෙන් කැදලි තනන වතුරෙන් යටවූ ගස් මත කූඩු තනා අභිජනනය කරයි. 

English Post >>



Saturday, March 5, 2022

Lesser Sri Lanka Flameback/Red-backed Woodpecker/කෑරලා (Dinopium psarodes)

 An endemic and very common bird inhabiting forests, cultivations and home gardens of lowlands and hills in all zones except the northern part of the country. It lives as pairs and feeds on ants and such other insects found inside tree barks and occasionally on ground. It breeds from March to June and again from August to September in a nest excavated into the branch or the trunk of a tree.

සිංහලෙන් කියවන්න >>

Friday, March 4, 2022

ආසියා තල් තුරිතයා/පුංචි වේග ලිහිණියා (Cypsiurus balasiensis)

 පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශයේ සුලභ දේශීය පක්ෂියෙකි.විශේෂයෙන්ම තල් සහ තල ගස් අවට මේ පක්ෂියා බොහෝවිට දැකගත හැක. රංචු වශයෙන් විවෘත භූමි වල වේගයෙන් ඉගිලෙමින් ගුවනේදි පියාඹන කුඩා කෘමීන් ගොදුරු කරගනිමින් සැරිසරන තල් තුරිතයා බොහෝවිට වසර පුරාම පාහේ අභිජනනය කරන පක්ෂියෙකු ලෙස සැලකේ. කුඩා කෝප්පයක ආකාර කූඩුව පිහාටු, පුලුන් ආදියෙන් මෙම පක්ෂියාගේ ඛේටයෙන් අලවා තල් අත්තක යට පැත්තේ තනයි. තල් ගස් නොමැති ප්‍රදේශ වල නම් කලාතුරකින් පුවක් ගසක කොල අතු වලද කූඩු නිරීක්ෂණය කර ඇත.  

English Post >>

Thursday, March 3, 2022

වගුරු සිලිබිල්ලා/වගුරු සිලිවටුවා (Tringa stagnatilis)

 පහත රට ජලජ පරිසර පද්ධති වල, විශේෂයෙන් පහත රට වියලි කලාපයේ වෙරලබඩ කලපු, ගං මෝය, කඩොලාන, ලුණු ලේවායන් සහ ඇතැම්විට රට ඇතුලට වන්නට පිහිටි වගුරු බිම්, විශාල වැව් සහ වතුරෙන් යටවූ කුඹුරු ආදියේද හමුවන සංකරමණික පක්ෂියෙකි වගුරු සිලිබිල්ලා. කකුළුවන්, ඉස්සන්, පණුවන් වැනි කුඩා ජලජ සතුන් ආහාරයට ගන්නා වගුරු සිලිබිල්ලන් තනිව හෝ ලොකු කුඩා රංචු ලෙසින් ගොදුරු සොයන ආකාරය නිරීක්ෂණය කල හැක. වගුරු සිලිබිල්ලා වේගයෙන් පියාසර කරන, එසේම හොඳින් පීනීමටත් හැකි පක්ෂියෙකි.

English Post >>

Wednesday, March 2, 2022

ගෝමර පිළිහුඩුවා (Ceryle rudis)

 පහත රට වගුරු බිම්, කලපු, කඩොලාන, සෙමින් ගලා යන ගංගා සහ වැව් ආදී පරිසර පද්ධති වල නිතර හමුවන දේශිය පක්ෂියෙකි ගෝමර පිළිහුඩුවා. වෙරල අසබඩ ප්‍රදේශ වල සාමාන්‍යයෙන් සුලභව හමුවේ. ප්‍රධාන වශයෙන් මාලුන් සහ වෙනත් ජලජ සත්වයන් ගොදුරු කරගන්නා අතර ජල මතුපිටට උඩින් එක තැන පියාඹමින් සිට එකවර ගොදුර මතට පැන එය ඩැහැගන්නා ආකාරය නිරීක්ෂණය කල හැක. ජෝඩු වශයෙන් දිවිගෙවන ගෝමර පිළිහුඩුවන් වසරේ මාර්තු සිට මැයි දක්වා කාලයේ ගං ඉවුරක කණ්ඩිය තුලට හෑරු ගුලක බිත්තර දමා අභිජනනයේ යෙදේ.  

English Post >>

Tuesday, March 1, 2022

ඉවුරු වැහිළිහිණියා/කරපටි ඉවුරුළිහිණියා (Riparia riparia)

 දුර්ලභ නමුත් නිත්‍ය සංක්‍රමණික පක්ෂියෙකි. වියලි කලාපයේ බොහෝවිට ජල මූලාශ්‍රයකට ආසන්න විවෘත බිම් වල හමුවේ. ප්‍රධාන වශයෙන් දකුණු වෙරලබඩ කලාපයේ වාර්තා වේ. නිතරම අටු වැහි ලිහිණි රංචු සමග විදුලි කම්බි හෝ දුරකතන කම්බි මත වසා සිටින ආකාරය නිරීක්ෂණ කල හැක. ඉවුරු වැහිලිහිණියා උතුරු ඉන්දියාවේ සහ උතුරු ඇමෙරිකාවේ අභිජනනය කරයි.

English Post >> 

Monday, February 28, 2022

කහ යටිමල් කිරලා/කහ තැලි කිරලා (Vanellus malabaricus)

 පහත රට වියලි කලාපයේ බොහෝවිට ඉතාමත් වියලි ප්‍රදේශ වල හමුවන තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකි. පුත්තලමේ සිට යාපනය දක්වා වූ වෙරල තීරයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුලභව හමුවේ. තවද නැගෙනහිර පලාතේ මෙන්ම උඩවලව සහ අනුරාධපුරද අභිජනනය කරන ගහන වාර්තා වී ඇත.  කුඩා රංචු ලෙසින් හෝ ජෝඩු ලෙසින් ශුෂ්ක තෙත් බිම්, පුරන් බිම්, වියලි කුඹුරු වල මෙන්ම ගල් සහිත තණබිම් වලද පලගැටියන්, කුහුඹුවන්, වේයන්, කුරුමිණියන් වැනි භූමිය මත සිටින කුඩා සතුන් ගොදුරු කරගනිමින් දිවි ගෙවන මෙම පක්ෂියා වසරේ මැයි සිට ජූලි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. කුරුසයක ආකාරයට බිත්තර 4 ක් ගල් සහිත බිමක පස් පිඩලි සහ ගල් අතර මනාව සඟවා තබා බිත්තර රැකීමේ යෙදෙන මෙම පක්ෂියාගේ 'කූඩුව' පහසුවෙන ඇස නොගැටේ. බොහෝවිට ඉතාමත් පහලින් පියාසර කරන පක්ෂියෙකි.  

English Post >>

Saturday, February 26, 2022

Green Sandpiper (Tringa ochropus)

 Rather uncommon winter migrant to the grassy and wooded areas of freshwater pools, streams, rivers and brackish channels in tidal marshes throughout the island. But not normally occurs on salt water. While its stay in Sri Lanka Green Sandpiper usually lives as solitary birds. It breeds in Europe and Central Asia



Friday, February 25, 2022

Commicarpus chinensis [Syn: Boerhavia chinensis]

A straggling herb of hedges and scrub borders in the intermediate lowlands. Probably a native plant of Sri Lanka.  Flowering from March to April. 

Thursday, February 24, 2022

අළු කොබෙයියා (Stigmatopelia chinensis ceylonensis)

ඉතාමත් සුලභ දේශිය පක්ෂියෙකු වන  අළු කොබෙයියා දිවයින පුරාම පාහේ ගෙවතු සහ වගා බිම් වලත් වියලි කලාපයේ නම් වනාන්තර තුලත් හමුවේ. එහෙත් කඳුකරයේ එතරම් සුලභ නොවේ. ජෝඩු වශයෙන් ජීවත් වන අළු කොබෙයියන් කුඩා ගසක් හෝ පඳුරක් මත කෝටු කෑලි සහ ගස් වල මුල් ආදිය එකතු කර තනන කූඩුවක බිත්තර දෙකක් පමණ දමා වසර පුරාම පාහේ අභිජනනය කරයි. බොහෝවිට එක් ජෝඩුවක් වසරක කාලය තුල කිහිප වරක්ම බිත්තර දමා පැටවුන් බෝ කරයි. අළු කොබෙයියන් ප්‍රධාන වශයෙන්  තණකොල සහ වල් පැලෑටි වල බීජ සහ ධාන්‍ය වර්ග ආදිය භූමිය මතින් අහුලා ගෙන ආහාරයට ගනී.

English Post >> 

Wednesday, February 23, 2022

පුංචි බිඟුහරයා/කොළ කුරුමිණිකුරුල්ලා (Merops orientalis ceylonicus)

පහත රට වියලි කලාපයේ විවෘත පෙදෙස්, වගා බිම් සහ වනාන්තර තුල වූ විවෘත ප්‍රදේශ වල ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. එසේම අර්ධ නාගරික ප්‍රදේශ වල විදුලි රැහැන් මත වසා සිටින පක්ෂීන්ද බොහෝවිට දැකගත හැක. කලාතුරකින් තෙත් කලාපය තුලද වියලි කලාපයේ සිට තාවකාලිකව සංක්‍රමණය වූ පක්ෂීන් හමුවේ. බොහෝවිට ජෝඩු වශයෙන් හමුවන මුත් රාත්‍රී කාලයේදී රංචු ලෙසින් වදුල සහිත ගසක ලැග සිටින ආකාරය නිරීක්ෂණය කර ඇත. අනෙකුත් බිඟුහරයන් මෙන්ම පුංචි බිඟුහරයාගේද ප්‍රධාන අහාරය කුරුමිණියන්, මීමැස්සන්, සමනලයන් සහ බත්කූරන් වැනි  විවිධ ඉගිලෙන කෘමි සතුන්ගෙන් සමන්විත වේ. වයරයක් මත සිට හෝ ගසක අත්තක් මත සිට එක්වර ඉගිලී ගොස් එවැනි සතුන් අල්ලාගෙනෙ බොහෝවිට එම ස්ථානයටම රැගෙන විත් ගිලදමන ආකාරය නිරීක්ෂණය කල හැක. පුංචි බිඟුහරයා අප්‍රියෙල් සිට අගෝස්තු අතර කාලයේ පස් කණ්ඩියක් තුලට හෑරු ගුලක බිත්තර තුනත් පහත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.

English Post >>

Tuesday, February 22, 2022

Common Ringed Plover (Charadrius hiaticula tundrae)

 Very rare but regular winter migrant to tidal mudflats, shores, lagoons and salt-pans of the dry zone coastal areas. During its stay in the island Common Ringed Plover lives as solitary birds or as scattered flocks with other small waders. It breeds in Northern Eurasia and Northeastern part of the North America

Monday, February 21, 2022

බළල් සේරා/සැවුල් දියසෑනා (Hydrophasianus chirurgus)

 

පාවෙන ජලජ ශාක බහුල පහත රට  වැව් සහ වගුරු බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. විසිරුණු රංචු ලෙසින් පාවෙන ජලජ ශාක මත සිය දිගු ඇඟිලි සහ නිය භාවිතා කරමින්  ඇවිදින බළල් සේරන් විවිධ ජලජ ශාක වල බීජ, ධාන්‍ය වර්ග සහ ජලජ කෘමීන්, කූනිස්සන් වැනි දේ ආහාරයට ගනී. බළලෙකුගේ වැනි නාදයක් නගන හෙයින් බළල් සේරා යන නම මෙම පක්ෂියාට ව්‍යවහාර වේ. බළල් සේරුන් වසරේ පෙබරවාරි සිට ජූලි අතර කාලයේ ජලජ පැලෑටි එකතු කර සාදා ගන්නා තෙතබර කූඩුවක බිත්තර 3 ක් හෝ 4 ක් දමා අභිජනනයේ යෙදේ.  

English Post >>

Sunday, February 20, 2022

වී කුරුල්ලා/ළය කායුරු වීකුරුල්ලා/පුල්ලි වීකුරුල්ලා (Lonchura puntulata)

 දිවයින පුරාම පාහේ තෘණ භූමි, ගෙවතු සහ කුඹුරු ආදියේ ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. කුරුල්ලන් දහයක පමණ වූ රංචු වශයෙන් ජීවත් වන මෙම වී කුරුල්ලා වී සහ තෘණ බීජ ආහාරයට ගනී. වසර පුරාම පාහේ අභිජනනය කරන මුත් බොහෝවිට ඔක්තෝබර් සිට මැයි දක්වා කාලයේ බිත්තර සහ පැටවුන් සහිත කූඩු වැඩියෙන් හමුවේ. තණකොල පත්‍ර එකතු කර ගෝලාකාරව තනා ගන්නා කූඩුව ගසක් හෝ පඳුරක් මත තනයි. කටු සහිත දෙහි කුලයේ ශාක හෝ ඇතැම්විට පුවක් ගස් වල මල් කූඩු සැදීම සඳහා වැඩියෙන් යොදාගන්නා ආකාරය නිරීක්ෂණය කර ඇත.

English Post  >>

Friday, February 18, 2022

පුංචි ගෙඹිතුරුවා/ගෙඹි සේරා (Tachybaptus ruficollis)

 තරමක් සුලභ දෙශීය පක්ෂියෙකු වන  පුංචි ගෙඹිතුරුවා පහත රට වැව්, වගුරු බිම් වැනි ජලජ පරිසර වල වියලි කලාපයේ වඩාත් සුලභ ලෙසත්, තෙත් කලාපයේ තරමක් දුර්ලභවත් හමුවේ. එසේම කඳුකරයේද දුර්ලභව නමුත් අභිජනනය කරන පක්ෂීන් වාර්තා වී ඇත. ඇතැම්විට තනි පක්ෂීන් දැක ගත හැකි වුවත් පුංචි ගෙඹිතුරුවා කුඩා රංචු ලෙසින් ජීවත් වේ. කුඩා මාලුන්, විවිධ ජලජ කෘමීන්, සහ ඉස්සන් වැනි සතුන් ගොදුරු කරගන්නා පුංචි ගෙඹුතුරුවා වසරේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වාත්, බොහෝවිට නැවත ජුනි මාසයේත් ජලජ ශාක එකතු කර ජලය මත පාවෙන කූඩුවක් තනා එහි බිත්තර තුනක් පමණ දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Thursday, February 17, 2022

Great Cormorant/මහ දියකාවා[Maha Diyakawa] (Phalacrocorax carbo)


Rather rare breeding resident of dry lowland large tanks and lagoons. Very rarely occurs in wet lowlands and hills too. As other cormorants it is an expert diver and feeds mainly on fish. It lives usually as small flocks associating with other cormorants and such water birds. Great Cormorant breeds colonially from December to February . The nest usually place among the branches of a tree standing in shallow water. 

සිංහලෙන් කියවන්න >>

Wednesday, February 16, 2022

බොර සබරිත්තා/දුඹුරු ඇස්පටියා (lanius cristatus)

 මෙරටට පැමිණෙන සුලභ සංචාරක පක්ෂියෙකි බොර සබරිත්තා හෙවත් දුඹුරු ඇස්පටියා. බොර සබරිත්තන් උප වීශේෂ දෙකක් මෙරට තුලදි වාර්තා කර ඇති අතර ඒ අතරින් මධ්‍යම ආසියාවේ අභිජනනයේ යෙදෙන cristatus උප විශේෂය බහුලව දැකගත හැකි අතර නැගෙනහිර ආසියාවේ අභිජනනය කරන lucionensis උප විශේෂයද ඇතැම් අවස්ථා වලදී මෙරට තුලදී නිරීක්ෂණය කර ඇත. දිවයින පුරාම පාහේ ගස් කොලන් සහිත විවෘත ස්ථාන වල හමුවන දුඹුරු සබරිත්තන් තණකොලපෙත්තන්, කුරුමිණියන් වැනි කෘමි සතුන් ප්‍රධාන වශයෙන් ගොදුරු කර ගනී. 

English Post >>




Tuesday, February 15, 2022

සර්ප රාජාලියා (Spilornis cheela spilogaster)



 සුලභ දේශීය පක්ෂියෙකු වන සර්ප රාජාලියා දිවයින පුරාම පාහේ වනාන්තර සහ වෙනත් එවැනි ගස් කොළන් සහිත ප්‍රදේශ වල හමුවේ. එවන් ප්‍රදේශ වල ඉර එලිය හොඳින් පවතින දිනවල අහසේ කැරකෙමින් එහෙමෙහෙ යමින්, නිතර ඔවුන්ගේ ඝෝෂාකාරී අධික නාදය නිකුත්කරමින් ඉතා ඉහලට ඉහල නගින සර්ප රාජාලියන් බොහෝ විට ජෝඩු වශයෙන් දැක ගත හැක. නමින්ම කියැවෙන පරිදි සර්ප රාජාලියන් ප්‍රධාන වශයෙන් සර්පයන් ගොදුරු කරගනී. එමෙන්ම ගෙම්බන්, මීයන් සහ බොහෝවිට තුවාල වූ සහ අසනීප සහිත කුරුල්ලන්ද සර්ප රාජාලියන් ආහාරයට ගනී. පෙබරවාරි සිට මැයි දක්වා මාස වල වනාන්තරයේ වූ ගසක කුඩා සහ විශාල කෝටු කෑලි විශාල ප්‍රමාණයක් එකතු කරගනිමින් සාදන කූඩුවක බිත්තර එකක් හෝ ඇතැම්විට කලාතුරකින් දෙකක් දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Monday, February 14, 2022

දෙමළිච්චා (Turdoides affinis taprobanus)

ගෙවතු, වගා බිම් සහ මිනිස් වාසයන්ට ආසන්න  වනගත ප්‍රදේශ වලද ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකි. නමුත් ඝන වනාන්තර සහ කඳුකරයේ දුර්ලභය. බොහෝවිට හතට වඩා වැඩි කුරුල්ලන්ගේ රංචු වශයෙන් හමුවේ. එම හේතුව නිසාම ඉංග්‍රීසි භාෂාවෙන් Seven Sisters ලෙස හඳුන්වයි. කෘමින් මෙන්ම ශාකමය ද්‍රව්‍යද ආහාරයට ගන්නා දෙමලිච්චා එවන් බොහෝ ආහාර පොළොව මතු පිටින් ලබාගනී. මාර්තු සිට මැයි දක්වා සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට නොවැම්බර් දක්වා කාලයේ අභිජනනයේ යෙදේ.  ගැඹුරු කෝප්පයක හැඩයෙන් යුත් කූඩුව පඳුරක මනාව සැඟවෙන පරිදි තනා එහි බිත්තර තුනේ සිට පහ අතර ප්‍රමාණයක් දමයි.

English Post >>


Sunday, February 13, 2022

බැම සුදු හම්බු කුරුල්ලා/සරල ප්‍රීනියා (Prinia inornata insularis)

පහත රට තැනිතලා බිම් වල සිට මධ්‍යම කඳුකරයේ පහල කඳු පන්තීන් දක්වා ලඳු කැලෑ, කුඹුරු සහ වගුරු බිම් ආශ්‍රීතව, එම හමුවන ස්ථාන වල සුලභව දැකිය හැකි දේශීය පක්ෂියෙකි. සාපේක්ෂව වියලි කලාපයේ වඩාත් සුලභය. බැම සුදු හම්බු කුරුල්ලන් තනිව හෝ ජෝඩු වශයෙන් දවසේ වැඩි කාලයක් තණකොල පඳුරු අතර එහෙ මෙහෙ පනිමින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන කෘමීන් ගොදුරු කරගන්නා ආකාරය දැක ගත හැක. බොහෝ විට වසර පුරාම පාහේ අභිජනනයේ යෙදෙන අතර ගැඹුරු කෝප්පයක ආකාර කූඩුව,  පරඩැල් වලින් තණකොළ පඳුරක් හෝ මිටි පඳුරක් මත පොළව මතුපිට හෝ බොහෝවිට වගුරු බිමක නම් ජලය මතු පිට සිට අඩියක් හෝ අඩි තුනක් පමණ උඩින් තනන අතර, එහි බිත්තර තුනෙ සිට පහ දක්වා අතර ප්‍රමාණයක් දමා අභිජනනයේ යෙදේ. 

English Post >>

Saturday, February 12, 2022

හම්බු කුරුල්ලා/ඉරි පවන්සැරියා (Cisticola juncidis)

 මුහුදු වෙරළ ආසන්න ප්‍රදේශ වල සිට ඉහල කඳුකරයේ මහඑලිය (හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය) දක්වාම දිවයින පුරාම උස තෘණ වර්ග සහිත තණ බිම්, වගුරු බිම්, වැව් අද්දර මෙන්ම කුඹුරු වලද දැකිය හැකි සුලභ පක්ෂියෙකි. තනිව හෝ ජෝඩු වශයෙන් හමුවන අතර ප්‍රධාන වශයෙන් තණකොළපෙත්තන් වැනි කෘමි සතුන් ආහාරයට ගනී. මාර්තු සිට අප්‍රියෙල් දක්වා සහ නැවතත් ජුලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ තණ පඳුරක මධ්‍යයට වන්නට මනාව සැගවෙන ආකාරයෙන් කූඩුවක් සාදා එහි බිත්තර තුනක් හෝ හතරක් දමා අභිජනනයේ යෙදේ. කූඩුව ඉහලින් වෘත්තාකාර කුඩා විවරයක් සහිතව සිලින්ඩරාකාර  ගොටුවක ආකාරයෙන් සාදයි. 

English Post >>

Friday, February 11, 2022

පුංචි මාල ඔලෙවියා (Charadrius dubius jerdoni)


වියලි කලාපයේ වෙරළබඩ වගුරු බිම්, මඩ වගුරු, වියලී ගිය වැව් පිට්ටනි, කුඹුරු සහ වැලි පර ආදී ස්ථාන වල දැකිය හැකි දේශීය පක්ෂියෙකි පුංචි මාල ඔලෙවියා. එසේම curonicus  උපවිශේෂය සංචාරක පක්ෂීන් මෙරට තුල දැකිය හැකි උතුරු අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී සංක්‍රමණික පක්ෂියෙකු ලෙසද අප රට තුලට පැමිණේ. එම කාලය තුලදී පුංචි මාල ඔලෙවියන් කොළඹ ආශ්‍රිත කෝට්ටේ සහ බෙල්ලන්විල-අත්තිඩිය ආදී ප්‍රදේශ වල ඇති තෙත් බිම් වලද ඇතැම්විට දැක ගත හැක. නොගැඹුරු ජලයේ සහ වියලි භූමිය මත වෙසෙන කුඩා සතුන් පුංචි මාල ඔලෙවියාගේ ප්‍රධාන ආහාර වන අතර බොහෝ විට එවැනි ස්ථාන වල විසිරුණු රංචු වශයෙන් ආහාර සොයමින් සිටිමින් අනතුරක් දැනුණු විට රංචුවක් ලෙසින් එකතු වී එකවර පියඹා යන ආකාරය නිරීක්ෂණය කල හැක.දේශීයව වසන පක්ෂීන් මැයි සිට ජූනි දක්වා මාස වල අභිජනනයේ යෙදෙන අතර බොරළු සහිත වෙරලේ, වැලි කඳු මත හෝ විශාල වැව් වල මැද ඇති කුඩා දූපත් වල බොරළු කණ්ඩියක් මත පහුරු ගා සාදා ගත් කුඩා වලක බිත්තර 3 ක් පමණ දමා අභිජනනයේ යෙදේ.  

English Post >> 

Thursday, February 10, 2022

උකුසු කෝකිලයා/උකුසු කොහා (Hierococcyx varius)

 උප වීශේෂ දෙකක් ලෙසින් මෙරට හමුවන දුර්ලභ පක්ෂියෙකි උකුසු කෝකිලයා. ciceliae උප වීශේෂය මෙරට තුල අභිජනනය කරන දේශීය පක්ෂියෙකු වන අතර පහල කඳුකරයේ සිට කඳුකරයේ ඉහල ප්‍රදේශය දක්වා දුර්ලභව දැක ගත හැක. මෙරටට සංක්‍රමණය වන පක්ෂියෙකු වන varius උප වීශේෂය පහත රට ප්‍රදේශ වල දුලභ පක්ෂියෙකි. වනාන්තර තුල මෙන්ම හොඳින් ගහ කොළ සහිත ගෙවතු සහ තේ වතු වලද මෙම පක්ෂියා හමුවේ. ගස් වල උඩු වියන් ස්ථරයේ සිටින කෘමින් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා උකුසු කෝකිලයා ඇතැම් කුඩා ගෙඩි වර්ගද ආහාරයට ගන්නා බව පැවසේ. බොහෝ විට තනි පක්ෂීන් ලෙසින් හමුවන මුත් ජෝඩු ලෙසින්ද ඇතැම් විට දැකගත හැක. ජනවාරි සිට අප්‍රියෙල් දක්වා කාලයේ අභිජනනය කරන උකුසු කෝකිලයා එම කාලයේ දිවා කල මෙන්ම රාත්‍රියේද නාද කරන මුත් වෙනත් මාස වලදී නිශ්ශබ්ද පක්ෂියෙකි. කෝකිල කුලයට අයත් වෙනත් පක්ෂීන් මෙන්ම උකුසු කෝකිලයාද වෙනත් පක්ෂි විශේෂ තනන කූඩු වල බිත්තර දමන අතර දෙමලිච්චන් වර්ග වල කූඩු ඒ සඳහා උපයෝගි කර ගනී. උකුසු කෝකිල වැඩිහිටි සහ කුඩා පක්ෂීන්ගේ වර්ණ බොහෝ දුරට කුරුළුගෝයාගේ වර්ණ වලට ආසන්න ලෙසින් සමාන වන අතර ප්‍රමාණයෙන්, පියාඹන ආකාරයෙන් සහ ඉරියව් වලින්ද සමීප සමාන කම් දැකිය හැක.

English Post >>



Sunday, January 30, 2022

ගම් කපුටා/කලු කපුටා (Corvus levaillantii)

 දිවයින පුරාම පාහේ ඉතාමත් සුලභ දේශීය පක්ෂියෙකු වන ගම් කපුටා නාගරික ප්‍රදේශ වල තරමක් දුර්ලභව දැකිය හැක. එම ප්‍රදේශ වල බහුලව හමුවන්නේ කොළඹ කපුටා ලෙසින් හැඳින්වෙන කපුටු විශේෂයයි. නිතරම ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් හමුවන ගම් කපුටන් කොළඹ කපුටන් මෙන් ආහාර උදෙසා එතරම් මිනිසා මත යැපීමක් සිදු නොකරන බැවින් ඇතැම්විට මිනිස් වාසයෙන් ඈතට වන්නට පිහිටි  වනාන්තර තුලද හමුවේ. සර්වභක්ෂිකයෙකු වන ගම් කපුටා මළකුණු මත මෙන්ම මිනිස් අපද්‍රව්‍යද මතද යැපෙන ආකාරය නිරීක්ෂණය කල හැක. ගම් කපුටා අප්‍රියෙල් සිට සැප්තැම්බර් අතර කලයේ උස ගසක් මත කෝටු කැබැලි ගොඩක් එකතු කර සාදන කූඩුවක බිත්තර 3 ක් හෝ 4 ක් පමණ දමා අභිජනනයේ යෙදේ. 

English Post >>